තර්මස්ටැට්/ උශ්ණත්ව පාලක වෑල්වය හා එන්ජිමක ක්‍රියාකාරී උශ්ණත්වය

🔥♨️ තර්මස්ටැට්/ උශ්ණත්ව පාලක වෑල්වය ( Thermostat Valve ) හා

🔥♨️ එන්ජිමක ක්‍රියාකාරී උශ්ණත්වය( Working Temperature )

මොකක්ද මේ කට්ටිය මේ දවස් වල පෝලිමට ගලවලා විසික් කරන වෑල්ව් එක?මොකක්ද මේකෙන් වෙන්නේ?මේක මොන මොන විදි වලටද දකින්න පුලුවන්?මේක ගැලෙවුවම මොකක්ද එන්ජිමට වෙන්නේ?

🙏 දෙකට කඩන්නේ නැතුව තනි එකකට ලියපු නිසා පෝස්ට් එක පොඩ්ඩක් දිගයි.ඔක්කොම කියවමු

📌️  මේක එන්ජින් එකෙන් රේඩියේටර් එකේ උඩ ටැංකියට( Upper Tank )යන හෝස් එකේ රේඩියේටර් එකට කලින්,එන්ජින් එකෙන් පස්සේ හවුසින් එකේ තැනක හයි වෙන වෑල්වි එකක්.නිශ්පාදකයා දීලා තියන උශ්ණත්ව අගයකට එනකන් මේක වැහිලා තියනවා.ඒ අගයට ආවම මේක ඇරෙනවා.ඒ අගයට වැඩි උශ්ණත්ව පරාසෙකදි දිගටම ඇරිලා තියනවා.

වෑල්ව් එක වැහිලා තියනකොට එන්ජින් එකෙන් රත් උන කූලන්ට් රේඩියේටර් එකට යන්න නොදී තියාගන්නවා.වෑල්ව් ඇරුන ගමන් කූලන්ට් රේඩියේටර් එකට යන්න දෙනවා.

එහෙනම් සරලවම මේක එන්ජින් එකයි රේඩියේටර් එකයි අතර තියන දොරක්.මේ දොර නැත්තන් වෑල්ව් එක ඇරෙන වැහෙන උශ්ණත්ව අගය මේ වෑල්ව් එකේ සදහන් වෙලා තියනවා.මේ වෑල්ව් එකේ වැදගත්කම ගැන බලන්න කලින් මේක ක්‍රියාකරන විදිය බලමු.සාමාන්‍යයෙන් මේ වෑල්ව් එක ඔපරේට් වෙන විදිය අනුව වෑල්ව් වර්ග 3ක් දකින්න පුලුවන්.


 Bellow Type Thermostat Valve 

  මේ වර්ගයේ තර්මස්ටැට් වෑල්ව් එකක තියනවා හොදට මුද්‍රා උන තුනී ලෝහ බැලූන් එකක්.ඒ ඇතුලේ පුරවලා තියනවා වාශ්පශීලී ද්‍රවයක්.එන්ජින් එක ඇතුලේ,උශ්ණත්වය වැඩි වෙන කූලන්ට් මේ බැලූන් එකේ වැදිලා බැලූන් එක ඇතුලේ තියන ද්‍රවය ප්‍රසාරණය කරවනවා.ඊටපස්සේ ඒ ද්‍රවය ප්‍රසාරණයෙන් මේ වෑල්ව් එකට සම්බන්ධ කූරක් තල්ලු කරවලා වෑල්ව් එක විවෘත( Open ) කරනවා.ඒ කියන්නේ රේඩියේටර් එකට කූලන්ට් යන්න දෙනවා 


Wax Type Thermostat Valve 

මේ වර්ගෙදි වෙනසකට තියෙන්නේ කලින් එකේ වගේ ද්‍රවයක් වෙනුවට Wax/Gel/රබර් මිශ්‍රණයක් වගේ දෙයක් තියනවා.ක්‍රියාකාරිත්වය කලින් වගේමයි.


Electronically Control Thermostat Valve 

මේ වර්ගෙත් කලින් කතා කරපු Wax type එක වගේමයි.වැක්ස් එකට අමතරව ඒ වැක්ස් එක පිටින් රත් කරන්න පුලුවන් Heating Coil එකක් මේ වැක්ස් එක එක්ක තියනවා.එතකොට සාමාන්‍යයෙන් Wax type විදියට අමතරව අවශ්‍ය වෙලාවකදි එන්ජින් එකේ අනිත් සිග්නල් එක්ක ගැලපෙන විදියට ECM ( Engine Control Module/ එන්ජින් පාලන ඒකකය ) එකෙන් මේ Heating Coil එක රත් කරලා වෑල්ව් එක වෙනම කන්ට්‍රෝල් කරන්නත් පුලුවන්.ඒ වගේම මේ කොයිල් එකේ දෝශයක් ආපු වෙලාවක Check Engine Light එක Indicate කරලා, දෝශය නිවැරදි කරනකන් සාමාන්‍යය Wax type එකේ විදියට වැඩ කරන්නත් පුලුවන්.

📌 ️ වෑල්ව් එක වැහිලා තියන වෙලාවටත් Water Pump එක දිගටම වැඩ කරන නිසා පම්ප් වෙන කූලන්ට් තදබදයක් ඇති වෙන්නේ නැති වෙන්න වෑල්ව් එක ලගින් ආයි වෝටර් පම්ප් එක ලගටම තව ලයින් එකක් තියනවා.ඒකට කියනවා Bypass Line එක කියලා.වෑල්ව් එක වැහිලා තියන වෙලාවට එන්ජින් එක ඇතුලේ කූලන්ට් මේ ලයින් එක හරහා යන ගමන් එන්ජින් එක ඇතුලෙම Circulate වෙවී තියාගන්නවා.

📌️  කූලන්ට් පුරවන වෙලාවට,වෝටර් පම්ප් ක්‍රියාකාරී වෙලාවට ඇතිවෙන වායු බුබුලු ඉවත් කරන්න මේ වෑල්වු එකේ පියනේ එක පැත්තක Jiggle Pin කියලා පොඩි Pin කොටසක් දකින්න තියනවා.මේක උඩ පැත්තට තල්ලුවෙලා මේ වායුබුබුලු උඩට ගිහිල්ලා රේඩියේටර් එක මුදුනෙන් අයින් වෙලා යනවා.

 📌️  තර්මස්ටැට් වෑල්ව් දෙකක් එන එන්ජින් තියනවා.

📌️  වෑල්ව් එක ඇරෙන උශ්ණත්වයට වඩා අඩු උශ්ණත්වයකදි පොඩි ප්‍රමාණයක් ඇරෙන තවත් පොඩි වෑල්ව් එකක් තියන විදියට Step දෙකකට ඇරෙන තර්මස්ටැට් වෑල්ව් තියනවා.උදාහරණයක් විදියට මේන් වෑල්ව් එක ඇරෙන්නේ 85°C දිනම්,70°C දි වගේ ඇරෙන සබ් වෑල්ව් එක්කුත් තියනවා.

  

මුලින්ම සරලවම කිවුවොත් මේ වෑල්ව් එකෙන් කරන්නේ එන්ජින් එකක් ඉක්මනටම Working Temperature( ක්‍රියාකාරී උශ්ණත්වය ) ට ලගාකරගන්න එකයි,එතනින් පස්සේ ඒ උශ්ණත්වයේ තියාගන්න එකයි.

🔥 එන්ජිමක ක්‍රියාකාරී උශ්ණත්වය කියල කියන්නේ ඒ එන්ජිම උපරිම කාර්‍යක්ශමතාවයක් එක්ක වැඩ කරන උශ්ණත්වය.එන්ජින් නිශ්පාදකයා දීලා තියන ඒ උශ්ණත්වය ට වඩා අඩු උශ්ණත්වෙකදි  වගේම ඊට වඩා වැඩි උශ්ණත්වෙකදි ඒ එන්ජින් එක වැඩ කරන්නේ එන්ජිමෙන් පිටට ගන්න පුලුවන් බලයේ අඩුවක් එක්ක. සාමාන්‍යයෙන් එන්ජින් එකක ක්‍රියාකාරී උශ්ණත්වය 80-120°C අතර පරාසෙක තියනවා.

⚠️️  ලංකාවේ Overheat ප්‍රශ්න තියන වාහන වල ගොඩක් අය කරන දෙයක් තමයි මේ Thermostat Valve එක ගලවලා අයින් කරන එක.ඇත්තටම මේක ගලවලා අයින් කලාම ගොඩක් දුරට Overheat ප්‍රශ්න විසදෙනවා.හැබැයි මේක ගලවන්නේ ඇත්තටම ලෙඩේ හොයාගන්න බැරි කමට හෝ ලේසිම වැඩේ මේක නිසා.එහෙනම් දැන් බලමු මේ අතීසාරෙට අමුඩේ ගහන වැඩෙන් මොකද වෙන්නේ කියලා.

මේ වෑල්ව් එක ගලවලා අයින් කලාම වෙන්නේ ස්ටාර්ට් කරපු වෙලාවේ ඉදන්ම දිගින් දිගටම එන්ජින් එකේ කූලන්ට් රේඩියේටර් එකට යවන එක.ඒ කියන්නේ එන්ජින් එක,එක දිගටම කූල් කරනවා.

එන්ජින් එකක් ක්‍රියාකාරී උශ්ණත්වයට වඩා වැඩි උනාම එන්ජින් එකේ කොටස් හානි වෙන්න,විනාස වෙන්න පුලුවන් වගේම ක්‍රියාකාරී උශ්ණත්වයට වඩා අඩු උනාම මොන වගේ දේවල්ද එන්ජින් එකකට වෙන්න පුලුවන් කියලා දැන් බලමු.

💥 තර්මස්ටැට් වෑල්ව් එක ගලවලා අයින් කලාම එන්ජින් එකක් Cold Start එකෙන් පස්සේ Working Temperature එකට එන්න ගොඩක් වෙලාවක් ගන්නවා හෝ සමහර විට Working Temperature එකට එන්නෙම නැතුව දිගටම දුවන්නත් ඉඩ තියනවා.එතකොට ඒ අවස්ථාවට ගන්න ලොකු ඉන්ධන ප්‍රමාණයක් පුච්චන්න වෙනවා.නවීන වාහනයකනම් Coolant Temperature Sensor එකෙන් ECM( Engine Control Module) එක ගන්න Signal අනුව එන්ජින් එක අඩු උශ්ණත්වෙක දුවන නිසා Close Loop අවස්ථාවට එන්නේ නැතුව Open Loop අවස්ථාවේ දිගටම වැඩ කරනවා.මේ Open Loop වෙලාවට Oxygen Sensor සිග්නල් ECM එකෙන් නොසලකා හරින නිසා දිගින් දිගටම එන්ජින් එක ඉක්මනට Working Temperature ගන්න වැඩි ඉන්ධන ප්‍රමාණයක් සිලින්ඩර් වලට දෙනවා.මේකෙන් වෙන ප්‍රධානම අවාසි තමයි, 

👉 ඉන්ධන කාර්‍යක්ශමතාවය ගොඩක් අඩු වෙන එක

👉 මේ වැඩිපුර ඉන්ධන නිසා නිතරම බෝර් එක සේදෙන එකයි( Bore Wash ). මේ බෝර් සේදීම නිසා බෝර් එක,පිස්‍ටන් ඉක්මනට ගෙවිලා එන්ජින් ආයුකාලය ගොඩක් අඩු වෙනවා

👉 Spark Plug ආයුකාලය අඩු වෙනවා

👉 විශ වායු විමෝචනයෙන් පරිසර දූශණය වැඩි වෙනවා( සරු මිශ්‍රණ/ Rich Mixture නිසා )

💥  එන්ජින් එකක මූලිකම ක්‍රියාකාරී කොටසක් තමයි පිස්ටන් එක කියලා කියන්නේ.ඒ වගේම මේ පිස්ටන් එක සිලින්ඩර් එකට හොදට මුද්‍රා වෙන්න පිස්ටන් රින්ග්ස් තියනවා.මේ පිස්ටන් එකක් හදලා තියෙන්නේ හරියටම සිලින්ඩරාකාර හැඩයකට නෙමෙයි.උඩින් බැලුවොත් ඕවල් හැඩයක් තියෙන්නේ.එන්ජින් එකක් ක්‍රියාකාරී උශ්ණත්වයට ආවම තමයි මේ පිස්ටන් එක හරියටම සිලින්ඩරාකාර හැඩේට ඇවිල්ලා සිලින්ඩර් බෝරයේ හැඩයට හැඩගැහෙන්නේ.එ වගේම පිස්ටන් රින්ග්ස් ප්‍රසාරණය ට ඉඩ තියලා Ring Gap එකක් තියලා තියනවා.ක්‍රියාකාරී උශ්ණත්වය ට ආවම තමයි මේ රින්ග්ස් ප්‍රසාරණය වෙලා මේ Ring Gap එක උපරිම විදියට අඩු වෙලා සිලින්ඩර් ඇතුල හරියටම උපරිම විදියට මුද්‍රා වෙන්නේ.

ක්‍රියාකාරී උශ්ණත්වය අඩු වෙලාවකදි මේ දේවල් මේ විදියට වෙන්නේ නෑ.ඒකෙන් වෙන්නේ එන්ජින් එකේ උපරිම බලයක් ලබාගන්න බැරි වෙන එක 

💥 එන්ජින් එකකට දාන ලුබ්‍රිකේශන් ඔයිල් එකේ දුස්‍රාවිතාවය( Viscosity ) හරිම අගයක තියෙන්නේ එන්ජින් එකේ ක්‍රියාකාරී උශ්ණත්වයේදි.එන්ජින් එක ක්‍රියාකාරී උශ්ණත්වයේ නෑ කියන්නේ එන්ජින් නිශ්පාදකයා බලාපොරොත්තු වෙන Oil Viscosity එක ලැබෙන්නේ නෑ.ඒක එන්ජින් එකක ක්‍රියාකාරිත්වය ට ඍජු බලපෑමක් කරනවා.

💥 ඒ වගේම සාමාන්‍යයෙන් එන්ජින් ඔයිල් එකක් ක්‍රියාකාරී උශ්ණත්ව පරාසෙක තියනකොට ඒ ඔයිල් එක ජලය වාශ්ප වෙන උශ්ණත්වයේ තියනවා.ඒ කියන්නේ එන්ජින් ඔයිල් එකට කලවම් වෙන ජල අංශු වාශ්ප කරලා යවන්න පුලුවන් නිසා ඔයිල් එකේ ගුණාත්මකතාවය වැඩි කාලයක් තියාගන්න පුලුවන්.හැබැයි එන්ජින් එක වැඩි වෙලාවක් මෙහෙම අඩු උශ්ණත්වයක දුවද්දි මේ කලවම් වෙන ජලය ඉවත් නොවී ලුබ්‍රිකේශන් ඔයිල් වල ගුණාත්මකතාවය අඩු වෙනවා.මේකත් එන්ජින් ඉක්මනට ගෙවෙන්න හේතුවක්.

💥 එන්ජින් එකක් අඩු උශ්ණත්වයක ක්‍රියා කරද්දි සිසිලන පද්ධතියේ( Cooling System ) කාර්‍යක්ශමතාමව අඩු වෙනවා

💥 වාහනේ Heater System, Window Defroster System නිසියාකාරව ක්‍රියාකාරී කරවන්න අවශ්‍ය Heat එක මදිවෙනවා.

🌦️  ලංකාවේ ටෙක්නීශියන්ලා ඇතුලු ගොඩක් අය කියන දෙයක් තමයි මේ වෑල්ව් එක අපි වගේ ඝර්ම කලාපීය රටවල් වලට ඕනවෙන්නේ නෑ,මේක ඕනවෙන්නේ හිමවැටෙන සීතල රටවල් වලට මොකද අපේ රටේ කවදාවත් එන්ජින් හීට් එක වැඩි උනොත් මිසක් පරිසර උශ්ණත්වය එක්ක බලද්දි කොහොමත් ම අඩු වෙන්නේ නෑ කියලා.මේ වෑල්ව් එක ගලවලද කියලා සරලව බලාගන්න පුලුවන් විදි ටිකක් පෝස්ට් එක් අන්තිමේ කියනවා.එතනදි ඔය කතාවටත් උත්තරේ දෙන්නම්. 

දැන් බලමු මේ වෑල්ව් එක හරියට වැඩ කරනවද කියලා සරලව පරික්ශා කරගන්න විදියක්.

    රත් කරන්න පුලුවන් විදියට භාජනේකට වතුර අරන් වෑල්ව් එක එන්ජින් එකෙන් ගලවලා අරගෙන මොකක් හරි ආධාර කරගෙන ඒ වතුරේ ගිලෙන විදියට,භාජනේ ගෑවෙන්නෙ නැති විදියට අල්ලගන්න හෝ එල්ලගන්න.දැන් වතුර හීටර් එකක් හෝ උදුනක් පාවිච්චි කරලා රත් කරන අතරේ වෑල්ව් එක දිහා හොදට බලන් ඉන්නකොට අපිට පේනවා වෑල්ව් එක ස්ප්‍රින් එක අකුලවගෙන ඇරෙනවා.දැන් උශ්ණත්වමානයක් පාවිච්චි කරලා ඒ වතුරේ උශ්ණත්වය මනින්න.හරියටම වෑල්ව් එක ඇරෙන වෙලාවේ උශ්ණත්වය වෑල්ව් එකේ නිශ්පාදකයා ගහලා තියන උශ්ණත්ව අගයමද කියලා බලන්න.ඒ දෙක සමානයිනම් වෑල්ව් එක බොහෝදුරට හරියටම වැඩ.( උශ්ණත්වමාපකය තියන Electrical kettle එකකිනුත් මේ වැඩේ කරන්න පුලුවන් )

🛠️ සාමාන්‍යයෙන් මේ වෑල්ව් එකේ දෝශ විදියට Open Seized(විවෘතව සිරවීම) හා Close Seized(වැසී සිරවීම) වගේ දෝශයක් එන්න පුලුවන්. Close seized උනොත් එන්ජින් ඕවර්හීට් තත්ත්වයක් වගේම Open Seized තත්ත්වයක් ආවොත් උඩ අපි කතා කරපු වෑල්ව් එක අයින් කලාම එන දෝශ එන්න පුලුවන්.වෑල්ව් එක මාරු කරන්න කාලසීමාවක් නෑ.දෝශයක් ආවොත් විතරක් එන්ජින් එකට සම්මත අගයට ගැලපෙන වෑල්ව් එකක් මාරු කරගන්න පුලුවන්.

❌  එන්ජින් ඕවර්හීට් ප්‍රශ්න වලදි ඒ අදාල ප්‍රශ්නෙට විසදුම් හොයන්නේ නැතුව සමහර විට වාහනේ අයිතිකාරයා දන්නෙත් නැතුවම මේ වෑල්ව් එක ගැරිජ් එකෙන් ගලවලා අයින් කරනවා.හරියටම මේ විදි වලින්ම විතරක් කියන්න බැරි උනත් සාමාන්‍යයෙන් මේ වෑල්ව් එක ගලවලද කියලා බලාගන්න පුලුවන් සරල ක්‍රම ටිකක් බලමු(වෑල්ව් එක නිශ්පාදකයා එවලා,පස්සේ ගලවපු වාහන වලට විතරයි.වෑල්ව් එක එන්නේ නැති එන්ජින් තියෙන්න පුලුවන් )

👉 එන්ජින් එක Cold start එකේදි රේඩියේටර් මූඩිය ඇරලා බලන්න පුලුවන් ස්ටාර්ට් කරපු වෙලාවේ ඉදන් Upper Tank එකට කූලන්ට් එනවද කියලා( රස්නේ එන්ජින් එකක රේඩියේටර් කැප් ඇරගෙන මේ වැඩේ කරන්න යන්න එපා)


👉 Cold Start එකේදි ගොඩක් පොඩි වෙලාවකින්ම Radiator Upper Hose එක රත් වෙනවද කියලා අතින් අල්ලලා බලන්න

👉 හයිවේ එකේ ගොඩක් වේගෙන් යන වෙලාවට,ගොඩක් වැස්ස වෙලාවක,සාමාන්‍යයෙන් වැඩි දුරක් පල්ලමක යනකොට එන්ජින් එකේ හීට් කට්ට මැද සීමාවට වඩා පහලට එනවද කියලා බලන්න.

මේ දේවල් වෙනවනම් ගොඩක් දුරට තර්මස්ටැට් වෑල්ව් එක අයින් කරලා තියෙන්න පුලුවන්.සීතල රටක් වෙන්න ඕනේ නෑ අපේ රටේ,මැදපෙරදිග වගේ අපිටත් වඩා රස්නේ රටක උනත් එන්ජින් එකක හීට් එක අඩු වෙන්න පුලුවන් කියලා ඔප්පු වෙන තැනක් තමයි මේ වගේ තර්මස්ටැට් අයින් කරපු එන්ජින් වල හීට් කටුව පහලට එන එක.වාහනේ දුවන පරිසරය කොච්චර රස්නේ උනත් ඒකෙම් කියන්නේ නෑ එන්ජින් එකක් කූල් වෙන්නේ නෑ කියාලා.තර්මස්ටැට් අයින් කරපු එන්ජින් ඕනතරම් හීට් එක අඩුවෙන් දුවනවා.

❌ ඔන්න මෙච්චර කොටලා කොටලා පැහැදිලි කරලා දාලත් ආයි කියන්නෙපා ඉතින් ලංකාවට තර්මස්ටැට් ඕනේ නෑ.ඕන් ඕවා ගලෝලා දාපල්ලා මෙහේ හිම වැටෙන්නේ නෑනේ කියලා.මං ඕක ගලවලා දැන් අවුරුදු පහක් තිස්සේ පදිනවනේ,මං අවුරුදු 30ක් වාහන හදනවා.ඕනතරම් ඕක ගලෝලා තියනවා කිසි අවුලක් නෑ ගාන්නෙපා.මේක ගලෝපු ගමන් ලෙඩ එන්නේ නෑ.සාමාන්‍යයෙන් කිලෝමීටර් මිලියනයක් එන්ජින් රෙපෙයාර් නැතුව දුවන එන්ජින් ලංකාවෙදි කිලෝමීටර් ලක්ශෙන් දෙකෙන් රෙපෙයාර් කරන්න වෙන්නේ ඔන්න ඔය වගේ ආතල් නිසා තමයි.

📌️  ඒ නිසා මේ වෙනකොටත් මේ වෑල්ව් එක ගලෝලා ගෙදර නම් තියෙන්නේ එන්ජින් එකේ ලෙඩේ හදලා වෑල්ව් එක හයි කරගන්න.හරියටම එන්ජින් එකට ගැලපෙන වෑල්ව් එකම අනිවාර්යයෙන් දාන්න.

😌😌උපුටා ගැනීම - සචින්ත සේනාරත්න😒😒

ජයවේවා🇱🇰💝


Post a Comment

0 Comments