භාණ්ඩ විකිණීම සම්බන්ධ නීතිය



භාණ්ඩ මිලට ගැනීම සහ විකිණීම
එදිනෙදා ජීවිතයේ වෙළඳපොලෙන් භාණ්ඩ මිලදී ගන්නා සියලු දෙනාටම මෙහි මතු දැක්වෙන නීතිමය කරුණු වැදගත් වනු ඇත. මෙරට භාණ්ඩ විකිණීමේ නීතිය අඩංගු වනුයේ භාණ්ඩ විකිණීමේ ආඥා පනතෙහි ය. 1896 දී පනවන ලද මේ පනත අද දක්වාම භාණ්ඩ විකිනීමේ ගනුදෙනු සඳහා අදාළ වේ.


භාණ්ඩ විකිණීමේ ගිවිසුම
විකුණුම්කරු
ගැණුම්කරු
භාණ්ඩය
මුදල්
පාර්ශවයන්ගේ එකගත්වය
යන දේ ඇතුළත් වේ. මෙහිදී විකුණුම්කරු සහ ගැනුම්කරු ගිවිසුමේ පාර්ශව කරුවෝ වෙති.විකුණන භාණ්ඩය ගිවිසුමේ විශය වස්තුව නම්වේ. මුදල යනු ගිවිසුම හට ගැනීමට හේතුවූ කාරණයයි. 

එය ඉංග්‍රීසි නීතිය අනුව ප්‍රතිෂ්ඨාව (Consideration) නම් වේ.
භාණ්ඩයක ගුණාත්මක තත්ත්වය (Merchantable Quality)

ඔබ වෙළඳපොලෙන් මිළදී ගත් යම් භාණ්ඩයක ඇති අඩුපාඩු පසුව දැනගතහොත් විකුණුම්කරු වගකීමට යටත් කළ හැකිද?
මේ සඳහා ඉංග්‍රීසි පොදු නීතිය (නඩු තීන්දු මගින් වර්ධණය වූ නීතිය) අදාළ කරගනුයේ “ගැනුම්කරු ප්‍රවේශම් විය යුතුය” යන රීතියයි.මේ රීතිය  අසාධාරණ බව මුල් බැල්මට පෙනෙයි. එබැවින්, නූතන භාණ්ඩ විකිණීමේ නීතිය විකුණුම්කරු ට වගකීම පැවරිය යුතු ද යන්න ක්‍රම කිහිපයකට සලකා බලනු ලැබේ.

ගැණුම්කරයට සාධාරණ පරීක්ෂාවක දී පෙනී යන දෝෂ සඳහා විකුණුම්කරු වග කිව යුතු නැත.
ගැනුම්කරුට සාධාරණ පරීක්ෂාවක දී පෙනී නොයන දෝෂ සඳහා විකුණුම්කරු වගකිව යුතුය.

උදාහරණ:ගැනුම්කරු විසින් මිලදී ගත් රූපවාහිනී යන්ත්‍රයක් ගෙනගොස් ක්‍රියාත්මක කළ විට එය දෝෂ සහගත වීම.

ගැනුම්කරු අදාළ භාණ්ඩය පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති අයෙකු නම් විකුණුම්කරුගේ වගකීම අඩුය.
විකුණුම්කරු හා ගැනුම්කරු අතර නිතර නිතර ගනුදෙනු සිදු වී ඇත්නම්, ඔවුන් අතර විශ්වාසනීය සම්බන්ධතාවක් තිබූ බවට අනුමාන කල හැකිය. මෙවැනි අවස්ථාවලදී භාණ්ඩ පරීක්ෂා නොකර භාරගත්තද විකුණුම්කරු වගකීමට ලක් කල හැකිය.
විකුණුම්කරු ට සාධාරණ පරීක්ෂාවක දී පෙනී යන දෝෂ සඳහා වගකීම තමා වෙතින් ඉවතට හැරවීමට විකුණුම්කරු ට හැකිය. මෙහිදී නිෂ්පාදක, බෙදාහරින්නා හෝ තොග වෙළෙන්දා වගකීමට ලක් කළ යුතු බව විකුණුම්කරු ට කියා සිටිය හැකිය.

උදාහරණ:
විකිණීමට තිබූ ලුණු පැකට් වල වැලි තිබීමට වගකීම තමා අත නොව තොග වෙළෙන්දා, බෙදාහරින්නා හෝ නිශ්පාදකයා අත බව කීමට විකුණුම්කරු ට හැකිය.

කල් ඉකුත් වූ භාණ්ඩයක් විකිණීමේ වගකීමෙන් මීදීමට විකුණුම් කරුට නොහැකිය.

ගැනුම්කරු සතු අයිතිවාසිකම්
යම් භාණ්ඩයක් මිලදී ගත් පසුව එහි දෝෂයක් ඇති බව දැනගන්නට ලැබීම නිතර ඇතිවන ප්‍රශ්නයකි. මෙහිදී සාධාරණ පරීක්ෂාවකින් පෙනී නොයන දෝෂ සඳහා විකුණුම්කරු වගකිව යුතුය. මෙවැනි දෝෂයක් දැනගත් වහාම ගැනුම්කරුගේ බව විකුණුම්කරු ට දැනුම් දිය යුතුය.

දෝෂසහගත භාණ්ඩය වෙනුවට වෙනත් භාණ්ඩයක් දීම.
විකල්ප ලෙස භාණ්ඩය බාරගෙන මුදල් ලබාදීම.
යන ප්‍රතිකර්ම එකක් මේ සඳහා විවෘතය. විකුණුම්කරු ඊට එකඟ නොවූයේ නම් භාණ්ඩය විකුණා වසරක් තුළ විකුණුම්කරුට එරෙහිව නඩු පැවරීමට ගැනුම්කරුට අයිතියක් ඇත.
මෙවැනි නඩු දිස්ත්‍රික් අධිකරණයේ පැවරිය යුතුය. 
තවද භාණ්ඩ මිලට ගැනීමෙන් සිදුවූ යම් අලාභයක් අයකර ගැනීමට විකුණුම්කරු ට එරෙහිව නඩු පැවරීමට හැකියාව ගැනුම්කරුට ඇත.

මිල නොලත් විකුණුම්කරු ට ඇති ප්‍රතිකර්ම
භාණ්ඩයක් විකුණා ඊට අදාළ සම්පූර්ණ මුදල හෝ ඉන් කොටසක් නොලත් විකුණුම්කරුවෙකුට ගත හැකි විකල්ප ප්‍රතිකර්ම කිහිපයක් ම ඇත.

භාණ්ඩ තමා භාරයේ ඇති විට මුළු මුදල ගෙවනතුරු භාණ්ඩ තමා භාරයේ තබා ගත හැකිය.
එම භාණ්ඩ තමා භාරයේ ඇත්නම් නරක් වන සුළු භාන්ඩ නැවත විකිණිය හැකි වේ.
එම භාණ්ඩ ප්‍රවාහනයේ පැවතියේ නම් තමා වෙත ඒවා නැවත ලබාගත හැකිය.
භාණ්ඩ ගැනුම්කරු සතුව ඇත්නම් විකුණුම් මිල ලබා ගැනීමට නඩු පැවරිය හැකි වේ.
මීට අමතරව ගනුදෙනුවෙන් සිදු වූ අලාභයක් වේනම් නඩු පවරා අයකර ගත හැකිය.

භාණ්ඩ  විකුණුමක දී නඩු පැවරිය හැකි අවස්ථා

භාණ්ඩ විකිණීමේ දී ගිවිසුමක් හටගනී. මෙහිදී පාර්ශවකරුවන්ගේ එකගත්වය පරිදි ගිවිසුම ඉටු නොවුණහොත් නඩු නිමිත්තක් හටගනී.( නඩු නිමිත්ත යනු නඩු පැවරීමට හේතුවකි.) කෙසේ නමුත් මෙවැනි අවස්ථාවලදී නඩු පැවරීමේ හැකියාව භාණ්ඩ විකිණීමේ ආඥා පනත මගින් සීමා කර ඇත. (5 වන වගන්තිය) ඒ අනුව භාණ්ඩ විකුනන්නෙකුට හෝ මිළට ගත් අයකුට නඩු පැවරීමට අයිතිය ඇත්තේ පහත සදහන් අවස්ථාවලදී පමණි.
භාන්ඩ හෝ ඉන් කොටසක් ගැනුම්කරු බාර ගෙන ඇත්නම් හෝ ගැනුම්කරුට භාර දී ඇත්නම්,
භාණ්ඩවල මිල හෝ ඉන් කොටසක් විකුණුම්කරු වෙත භාර දී ඇත්නම් හෝ බාර ගෙන ඇත්නම්,
නැතහොත්, භාණ්ඩ විකිණීම සඳහා ලිඛිත ගිවිසුමක් ඇත්නම්
මෙම අවස්ථාවලදී නඩු පැවරීමට අදාල පාර්ශවකරුවන්ට අයිතිය ඇත. මෙහිදී ලිඛිත ගිවිසුම  විධිමත්ව තිබීම අනිවාර්ය නොවේ.

උදාහරණ:
බස් ටිකට් පත්
රිසිට් පත්
කුවිතාන්සි
මෙවැනි ලියවිල්ලක් මත නඩු පැවරීමේ හැකියාව ඇත.

දෝෂ සහගත භාන්ඩ නිසා සිදුවන අනතුරු.

විකුණුම්කරුවන් විසින් සපයන දෝෂ සහගත භාන්ඩ නිසා සිදුවන අනතුරු ගැන නිතර අපට අසන්නට ලැබේ. මෙම කරුණු අදාළ වනුයේ භාණ්ඩ විකිණීමේ නීතියට  නොව වන්දි නීතියට ය. නූතන ඉංග්‍රීසි තෝරන නීතිය (Low of Torts)අනුව මෙවැනි අවස්ථාවලදී විකුණුම්කරු,බෙදාහරින්නා, නිෂ්පාදකයා යන කවරෙකු හෝ උචිත පරිදි වගකීමට ලක් කළ හැකිය.
ආහාර විෂ වීම නිසා රෝගී වීම.
දෝෂසහගත විදුලිය උපකරණ නිසා සිදුවන අනතුරු.
දෝෂසහගත උපකරණ ක්‍රියාත්මක කිරීමේදී සිදුවන තුවාල.
යන දේට වන්දි ඉල්ලා දිස්ත්‍රික් අධිකරණයේ නඩු පැවරීමට හැකියාව ඇත. මෙවැනි නඩු අදාල අනතුරු සිදුවී වසර දෙකක් තුළ පැවරීම අවශ්‍ය ය.

ලිපිය වටිනවනම්,
ඔබේ අදහස්,යෝජනා, චෝදනා, පහතින් comment කරන්න
ඔබේ යහලුවන්ගේ දැනුවත්කම උදෙසා මෙම ලිපිය share කරන්න..

මෙවන් තවත් වටිනා ලිපියකින් නැවතත් හමුවෙමු.

Post a Comment

1 Comments

  1. භාණ්ඩයක් ගෙවීමේ ක්‍රමයට විකිණීමේදී විකුනුම්කරු විසින් ගැනුම්කරුට ලබා දෙන කොන්දේසි මොනවද කියලා කියන්න පුලුවන්ද ?

    ReplyDelete