මූලික අයිතිවාසිකම් ( Fundamental Rights) පිළිබඳ නීතිය



මිනිසෙකු ලෙස උපත ලබා සිටින ඔබට මිනිසෙකු ලෙස සැලකුම් ලැබීමට අයිතියක් ඇත. ඒ ගැන විවාදයක් නැත. මිනිසෙකු සතු අවම අයිතිවාසිකම්වලට “මානව හිමිකම්” යන නම ලබා දී ඇත. මානව හිමිකම් ගැන දීර්ඝ විස්තරයක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශයෙහි අඩංගු කර ඇත. 


ඊට පසුකාලීනව තව තවත් මානව හිමිකම් හඳුන්වාදී ඇති අතර ඒවා දෙවන පරම්පරාවේ මානව හිමිකම් නම්වේ. දෙවන පරම්පරාවේ මානව හිමිකම් මූලකී හිමිකම් වලට වඩා උසස්ය. ඒවා වඩා ඉහළ මට්ටමක ජීවිතයක් සහතික කිරීම අරමුණු කොට හඳුන්වා දී ඇත. 

පෙර කී පළමු පරම්පරාවේ මානව හිමිකම් හෙවත් විශ්ව ප්‍රකාශයෙහි අඩංගු සමහර හිමිකම් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කර ඇත. මේවා මූලික අයිතිවාසිකම් ලෙස වර්ගකර ඇත.( Fundamental Rights) 

මූලික අයිතිවාසිකම් සහ මානව හිමිකම් අතර වෙනස වනුයේ, 
මානව හිමිකම් යන්න ජාත්‍යන්තර ප්‍රඥප්තීන්හි දැක්වෙන කරුණක් වීමත් 
මූලික අයිතිවාසිකම් මෙරට නීතියෙහි කොටසක් වීමත්ය. 


ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් කඩ වූ කල නඩු මගට බැසීමට හැකිය. ඒ සඳහා මූලික අවශ්‍යතා කිහිපයකි. 

1. අයිතිවාසිකම් කඩ වී මාසයක් තුළ නඩු පැවරිය යුතුය.
2. මූලික අයිතිවාසිකම් නඩු විසඳීමට බලය ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයට පමණි.
3. ප්‍රශ්න කෙරෙන ක්‍රියාව රජයේ බලය යොදා සිදු කළ එකක් විය යුතුය.
4. රාජ්‍ය ආරක්ෂාව/ මහජන සාමය/ ජනවාර්ගික සමගිය/ හමුදාවන්ගේ විනය පවත්වා ගැනීම යන අවශ්‍යතා අනුව සමහර මූලික අයිතිවාසිකම් සීමා කළ හැකිය.
5. වද හිංසා වලින් මිදීමේ අයිතියට සීමා පැනවිය නොහැකි ය. 

ප්‍රායෝගිකව සලකා බැලීමේදී පහත සඳහන් අවස්ථා වලදී මූලික අයිතිවාසිකම් පෙත්සම් වැඩි ප්‍රමාණයක් ඉදිරිපත් වන බව පෙන්වා දිය හැකිය. 

6. පොලිසිය හා ත්‍රිවිධ හමුදාව විසින්  කරනු ලබන වධහිංසාවන් 
7. පොලිස් අත්අඩංගුවේ සිටියදී කරනු ලබන පහරදීම්/ කෲර ක්‍රියා
8. නීත්‍යානුකූල නොවන රඳවා තබා ගැනීම්
9. නීති විරෝධී අත්අඩංගුවට ගැනීම්
10. රජයේ නිලධාරීන්ගේ අසාධාරණ තීරණ ප්‍රශ්න කිරීමට
11. පාසල්වලට ළමයින් ඇතුළත් කර ගැනීමේදී සිදු කළ අසාධාරණකම් 
12. විශ්වවිද්‍යාල පාඨමාලා වලට තෝරා ගැනීමේදී සිදුවන අක්‍රමිකතා
13.රජයේ නිලධාරීන්ගේ උසස්වීම්/ තනතුරු ලැබීම්/ සේවය අත්හිටුවීම/ සේවයෙන් නෙරපා හැරීම් සම්බන්ධ අක්‍රමිකතා 


මූලික අයිතිවාසිකම් නඩු පැවරීමට අති විශාල මුදලක් වැය වේ. එබැවින් බොහෝ දෙනෙක් මූලික අයිතිවාසිකම් නඩු පැවරීම වෙනුවෙන් පහත සඳහන් විකල්ප මාවත් වෙත යොමු වෙති. 

මානව හිමිකම් කොමිසන් සභාව වෙත පැමිණිලි කිරීම :

* පැමිණිලි විභාග කර නිර්දේශ ලබා දීම මෙහිදී සිදුකෙරෙයි. (අයිතිවාසිකම් කඩ වී වසරක් තුල පැමිණිලි කළ යුතුය.) 
* අගවිනිසුරු හෝ ශ්‍රේෂ්ඨාධිකරණ  විනිසුරුවරයෙකු අමතා පෙත්සමක් මගින් පැමිණිලි කිරීම: 

මෙසේ පැමිණිලි කිරීමෙන් නඩු පැවරීමේ අයිතිය දිගටම රඳවා තබාගත හැකිය. එසේම මසකට රුපියල් 6000 ට අඩු ආදායම ඇති අයට මේ සම්බන්ධ නොමිලේ නීති සහන ලබාගැනීමට හැකිය.
( අයිතිවාසිකම් කඩ වී මසක් තුළ පැමිණිලි කළ යුතුය. )

ඔබේ අදහස්,යෝජනා, චෝදනා, පහතින් comment කරන්න
ඔබේ යහලුවන්ගේ දැනුවත්කම උදෙසා මෙම ලිපිය share කරන්න..

මෙවන් තවත් වටිනා ලිපියකින් නැවතත් හමුවෙමු.

Post a Comment

0 Comments