සෙම් රෝග නිසැකයෙන්ම සුව කරන විශ්මිත කටරොළු ඔසුව...

ආයුර්වේදයේ මූලික ග්‍රන්ථ වන චරක සංහිතාව, සුශ්‍රැතය සංහිතාව, අෂ්ඨාංගහෘද සංහිතාව වැනි ග්‍රන්ථ වලත් බුද්ධදාස රජු විසින් රචිත සාරාර්ථ සංග්‍රහයෙත් මේ කටරොළු ඖෂධය ගැන සඳහන් වෙනවා. ඒ අතීත වෙදැදුරන්ගේ දර්ශණයට අනුව පොදුවේ රුධිර දෝෂ, වාත දෝෂ, දැවිලි රෝග වලට හා ඉදිමුම වැනි රෝග නැති කිරීමට සුදුසුම අගනා ඖෂධයක්. සුශ්‍රැත සංහිතාවට අනුව කටරොළු කියන්නේ ශිරෝ විරේචන ද්‍රව්‍යයක්. ඒ කියන්නේ විවිධ රෝග වලට මේ ඔසුවෙන් නස්නයක් කිරීමෙන් ඒවා සුව වන බව එහි සඳහන් වෙනවා. ඒ වගේම කටරොළු ඖෂධය තරුණ බව රකින ඖෂධයක් බවටත් ප්‍රචලිතයි.



රෝග සඳහා කටරොළු ශාකයේ මුල්, මල්, කොළ, පොතු, ඇට යන පංචාංගයම ගන්නවා.
කැස්ස, ඇඳුම, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග වලදී කටරොළු මුල් ඉතාම ගුණදායකයි. කටරොළු මුල් වියළා කුඩුකර ( පවුඩර් ලෙස ) දිනකට එයින් ග්‍රෑම් 01 - 03 ත් අතර ප්‍රමාණයක් උණුවතුර එකකට මිශ්‍රකර බොන්න. වේල් කිහිපයකින් සුව වේවි. ඒ වගේම කටරොළු මුල් වියලා දුම ඇල්ලුවොත් සෙම රෝග සුව වෙනවා.

කටරොළු ශාකයේ පංචාංගයම තම්බාගත් කෂාය පානය කළොත් ශරීරයේ ඇති සෙම ඉවත් කරන්නත් පුළුවන්. මේ වනවිට පර්‍යේෂණ මට්ටමින් පවා තහවුරු වෙලා තිබෙනවා කටරොළු කියන්නේ මානසික ආතතිය නැති කිරීමේ ගුණය ඇති ඖෂධයක් කියලා.

ඒ සඳහා වඩාත්ම සුදුසු කටරොළු මුල්. මුල් කෂායක් ලෙස සාදා ඔබ මේ ඖෂධීය කෂාය පානය කළොත් එය අගනා ඖෂධයක් වේවි. දේශීය චිකිත්සාවේ උන්මාද රෝග, පිස්සු බලු රෝග වැනි රෝග වලට ප්‍රතිකාර කරන්න කටරොළු ඖෂධය යොදාගන්නවා. ඒ වගේම කෘමි හා සර්ප දෂ්ඨන වල දී ශරීරයේ ඇති විෂ නැති කරන්නත් කටරොළු මුල් කෂාය ගුණදායකයි.

ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයේම වන්ද්‍යා භාවය නැති කරන්න සුදුසුම ඖෂධයක් තමයි කටරොළු කෂාය. ඒ වගේම ස්ත්‍රීන්ගේ ගර්භාෂ රෝග වලටත් කටරොළු කෂාය ගුණදායකයි. ශරීරයේ අභ්‍යන්තර රෝග වලට වගේම ශරීරයේ බාහිර රෝග සුව කරන්නත් කටරොළු සුදුසුම ඖෂධයක්. ශරීරයේ වේදනාව, ඉදිමුම, රුධිර ගැලීම් වැනි තත්ව නැති කරන්නත් මෙය අද්විතීය ඖෂධයක්.

රුධිරය ගලන අර්ශස් අවස්ථාවක දී එය සුව කරන්න කෂායක් ලෙසත් කටරොළු භාවිත කරනවා. ඒ වගේම සම්පුර්ණ කටරොළු ශාකයම ගලේ අඹරා තලපයක් සේ සාදා අර්ශස් ගෙඩිවල ආලේප කිරීමෙන් කෙටි කලකින් සුවය ලබන්නත් පුළුවන්.

කටරොළු ශාකය ශිරෝ විරේචන ද්‍රව්‍යයක් ලෙසත් හඳුන්වනවා. තද හිසේ කැක්කුමක දී කටරොළු කොළ කිහිපයක් තලා බිංදු දෙකක් ගෙන එය නාසයෙන් ඉහළට ඇදීමෙන් ක්ෂණික සුවයක් ලබන්න පුළුවන්. ඒ වගේම ගලගණ්ඩය රෝගය සුව කරන්න සුදු කටරොළු මල් ස්වල්පයකට වතුර පත 04 ක් දමා එය එකට සිඳුවා පෙරා බොන්න. ගලගණ්ඩ රෝගයට මෙම සුදු කටරොළු මල් කෂාය දෛනිකව පානය කිරීම ඉතාම ගුණයි. ගර්භාෂ රෝග වල දී, ආර්තව වේදනා වල දී නිල් කටරොළු මල් කෂාය පානය කරන්න. එය ඉතා ගුණදායකයි.

කටරොළු ශාකයේ මුල් අරගෙන පිරිසිදු කර හොඳින් ගලේ අඹරා ඒ ද්‍රාවණය සුදු කබර මත ආලේප කළහොත් සුදු කබර රෝගයෙන් මිදෙන්නත් පුළුවන්. ආහාර මාර්ග පද්ධතියටත් කටරොළු ඉතාම ගුණදායකයි. ආමාශගත තුවාල පවා සුව කරන්න මෙමඟින් පුළුවන්. ඔබ කළ යුත්තේ නිල් කටරොළු වියළි මුල්, පොතු හොඳින් අඹරා තලපයක් ලෙස සාදා මී පැණි සහ ගිතෙල් සමඟ ආහාරයට ගැනීම පමණයි. ආමාශගත රෝග වලට මෙය අගනා ඖෂධයක්.

උගුරේ ආසාදන වල දී කටරොළු පත්‍ර අඹරා උගුරේ ආලේප කිරීමත් ගුණදායකයි. කටරොළු පංචාංගයම කෂාය පානය කිරීමෙන් මුත්‍රා දැවිල්ල, මුත්‍රා ගල්, මුත්‍රා අඩස්සි යන සෑම මුත්‍රා රෝගයක්ම සුව කරගන්න පුළුවන්.

ඇත්තටම කටරොළු කියන්නේ පූජා කරන්න ගන්න මල් වර්ගයක් විතරක්ම නෙවෙයි. හොඳ ඖෂධයක්.

🧒 තොරතුරු :- විජිත කේ පතිරණ
📕 මූලාශ්‍රය :- සුශ්‍රැත සංහිතාව - හෙළ අරණ™️
🖊️ උපුටා ගැනීමකි :- 

Post a Comment

0 Comments