මෙරට අධිකරණය තුළ නොවිසඳී දිගින් දිගට පවත්නා නඩු වලින් වැඩි ප්‍රමාණයක් ඉඩම් සම්බන්ධ නඩුවේ. ඉඩම් නිතිය සම්බන්දව බහුතර ජනතාවගේ නොදැනුවත්කම ඊට හේතුවී ඇත. දුරදිග නොබලා සිදුකරන ඉඩම් ගනුදෙනු වලින් බොහෝ දෙනෙක් නඩු මගට ඇද වැටෙති. ඉඩම් සම්බන්ධව ඔබ දැනගත යුතු වැදගත් නීතිමය කරුණු මෙතැන් සිට විස්තර කෙරෙයි.
ඉඩම් මිලදී ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු
ඔබ ඉඩමක් මිලට ගන්නේ නම් ඒ ඉඩම සම්බන්දව ලියන ලද අවසාන ඔප්පුවෙහි පිටපතක් ලබාගැනීම සුදුසුය.
ඉඩම් ඔප්පුවක පිටපත් තුනක් ඇත.
ඉන් මුල් පිටපත ඉඩම් හිමිකරු සතුය
දෙවැනි පිටපත අදාල ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ ඇත
ඉතිරි පිටපත හෙවත් “කෙටුම්පත” ඔප්පුව ලියු නොතාරිස්වරයා සන්තකයේ ඇත. නොතාරිස්වරයා මිය ගිය කල එය ඉඩම් ලියාපදිංචි කිරිමේ කාර්යාලයට භාර දෙනු ලැබේ.
මේ කවර හෝ පිටපතක් මගින් ඉඩමෙහි විස්තරය බලාගත හැකිය.
දෙවැනි පියවර වනුයේ කන්තෝරු පරීක්ෂාවයි. ඊට හිමිකම් පරික්ෂාව යනුවෙන් ද කියනු ලැබේ. ඉඩම් ඔප්පුව ලියන නොතාරිස්වරයා හෝ ඔහුගේ නියෝජිතයකු විසින් කන්තෝරු පරීක්ෂාව කරනු ලැබේ. තමාටම වුවද කන්තෝරු පරීක්ෂාවක් කරවා ගත හැකිය. ඊට පළපුරුදු නොතාරිස් ලිපිකරුවකු යෙදවිය හැකිය.
පහත සඳහන් කරුණු කන්තෝරු පරීක්ෂාවකින් ලබාගත හැකිය.
* ඉඩමේ වර්තමාන හිමිකරු.
* ඉඩමේ හිමිකම් පැවත ආ පිලිවෙල
* ඉඩමට අදාල වෙනත් මුල් ඉඩමක් වේ නම් ඒ පිළිබඳ විස්තර
* ඉඩමට අදාල උකස්, බදු වැනි බැදීම් ඇතිද යන්න
* ඉඩමේ අයිතිවාසිකම් සම්බන්ධව නඩු පවරා ඇති ද යන්න.( ඉඩමට නඩු පවරා ඇති විට ලිස්පෙන්ඩනය නම් ලියවිල්ලක් ලියා පදිංචි කරනු ලැබේ).
ඉඩමට හිමිකම් පාන වෙන කෙනෙක් ඇත්ද යන්න.( තමා හිමිකම් කියාපාන ඉඩම් සම්බන්ධව වෙනත් අය ඔප්පු ලිවීම ගැන දැනුවත් වීමට කැමති අය කේවියට් තහනම් ලියාපදිංචි කරනු ලැබේ. )
මෙකී කාරණා සියල්ලම කන්තෝරු පරීක්ෂාවක් තුළින් හෙළි කරගත හැකිය.
තවද ඉඩම් මිලදී ගැනීමේදී පහත සඳහන් අතිරේක කරුණු ගැන සැලකිලිමත් වීම වැදගත්ය.
ඉඩම රජයට පවරා ගැනීමට යටත් ද යන්න පළාත් පාලන ආයතන වලින් විමසා දැනගත හැකිය. ඒ සම්බන්ධව අවශ්‍යනම් නොපවරාගැනීමේ සහතිකය( Non westing certificate) ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලබාගත හැකිය.
සමහර නාගරික ප්‍රදේශවල නිවාස ඉදිකළ පසු පදිංචි වීම සඳහා යෝග්‍යතා සහතික ලබා ගත යුතුය.(Certificate of confirmity)
නාගරික ප්‍රදේශවල ඇති නිවාස වල අයිතිකරු වරිපණම් ගෙවීමට යටත් ය. එබැවින් අයිතිකරුගේ නම වරිපනම් ලේඛනවල ලියා පදිංචි කරනු ලැබේ. මේ සම්බන්ධ සහතිකයක්ද ලබා ගැනීමට අවකාශය ඇත. (certificate of ownership)
තවද ඉඩම් මගින් යම් මාර්ගයක් සලකුණු කර ඇත්ද යන්න පළාත් පාලන ආයතන වෙතින් විමසා දැනගත හැකිය. ඒ සම්බන්ධව “විථි රේඛා සහතිකයක්”(Street Iine certificate) ඉල්ලා සිටිය හැකිය. මාර්ගයක් සඳහා වෙන් කළ කොටසකට/ බිම් තීරයකට අයත් දේපළ මිලදී ගත් අයට හිමිකම නොලැබේ. ඒ මත කරන ලද ඉදිකිරීම් ද කඩා දැමීමට යටත් ය. එබැවින් යම් ඉදිකිරීමක් සඳහා ඉඩමක් මිලදී ගැනීමේදී වීදි රේඛා සහතිකයක් ලබාගැනීම සුදුසුය.
ඉඩම් නඩු
ඉඩම් අයිතිවාසිකම් සම්බන්ධව විවිධාකාර නඩු පැවරිය හැකිය. ඒ සම්බන්ධ වැදගත් කරුණු කිහිපයක් මෙතැන් සිට දැක්වේ.
බෙදුම් නඩු(Partition cases)
හවුල් අයිතිය ඇති ඉඩමක හවුල් අයිතිය අවසන් කිරීම බෙදුම් නඩුවක අරමුණයි. ඉඩමට සම්බන්ධකම් දක්වන සෑම කෙනෙක්ම බෙදුම් නඩුවේ පාර්ශවකරුවකු විය යුතුය. නොඑසේනම් බෙදුම් තීන්දුවෙන් පසු, පෙර පැවති සියලු අයිතිවාසිකම් අවසන් වේ. බෙදුම් නඩුවකින් ඉඩම බෙදා වෙන් කළ පසු පාර්ශවකරුවන්ට ලැබෙන අයිතිය “පිරිසිදු” අයිතියකි.
හිමිකම් ඔප්පු කිරීමේ නඩු(Declaration of title)
ඉඩම තමාට හිමි බව තීරණය කර අනවසරයෙන් රැඳී සිටින අය ඉඩමෙන් ඉවත් කිරීමට මේ නඩුව ගෙන ආ හැකිය.
භුක්තිය නැවත ලබා ගැනීමේ නඩු (Posessory remedies)
නීත්‍යානුකූලව ඉඩ මෙහි රැදී සිටින අයකු ඉඩමෙන් පලවා හැරිය විට, තමාට නැවත ඉඩමේ භුක්තිය ලබා ගැනීමට නඩු පැවරිය හැකිය.( උදා: ඉඩමක් බද්දට ගත් අයකුට බදු කාල සීමාව තුළදී මෙම නඩු පැවරීමට හැකි ය).
මායිම් නඩු(Demarcation of Bourdaries)
ඉඩමක කලින් පැවති මායිම් අපැහැදිලි වූ අවස්ථාවක නැවත මායිම් සලකුණු කිරීමට නඩු පැවරිය හැකිය. මේවා මැනුම් නඩු නමින්ද හැඳින්වේ.
කුලී වැසියන් පිටමං කිරීමේ නඩු (Rent and Ejeetment Cases)
ගෙවල් කුලී නොගෙවමින් බලෙන් රැඳී සිටින කුළි නිවැසියන් පලවාහැරීමට නඩු පැවරිය හැකිය.
ඉඩම් පවරා ගැනීම සම්බන්ධ නඩු(Land Aquisition Cases)
රජයේ ආයතනවලට පෞද්ගලික ඉඩම් පවරා ගත් කළ ලැබිය යුතු වන්දි නොලැබුණේ නම් නඩු පවරා වන්දි ඉල්ලීමට හැකිය.
ඉඩම් ඔප්පු අවලංගු කිරීමේ නඩු
දේපල වංචනිකව පවරන ලද අවස්ථාවක දී ඔප්පු අවලංගු කිරීමට නඩු පැවරිය හැකිය. තෑගි ඔප්පුවකින් දේපල පැවරූ කළ තෑගි ලැබුම්කරු බලගතු සේ අකෘතඥ වුවහොත් නඩු පවරා ඔප්පුව අවලංගු කළ හැකිය.
මෙතෙක් දක්වන ලද සියලු ඉඩම් නඩු අදාල ඉඩම පිහිටි ප්‍රදේශයේ දිස්ත්‍රික් අධිකරණයෙහි පැවරිය යුතුය.
ඉඩම් ආරවුල් සම්බන්ධ නඩු (66 නඩු)
සාමයට තර්ජනයක් විය හැකි ඉඩම් ආරවුල් වැළැක්වීම සඳහා මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරිය හැකිය. මෙවැනි නඩු පොලිසිය මගින්ද පෞද්ගලිකවද පැවරීමට අවකාශ ඇත. මේවා 66 නඩු නම් වේ. 66 නඩුවල තීන්දුවල දී ඉඩම් වල භුක්තිය, වගා කිරීමේ අයිතිය, මාර්ග අයිතිවාසිකම් ආදිය සම්බන්ධ තාවකාලික ආඥාවක් නිකුත් කරනු ලැබේ. දිස්ත්‍රික් අධිකරණයේ නඩු පවරා අදාල ප්‍රශ්න නිරාකරණය කරගන්නා තුරු 66 නඩුවක තීන්දුව වලංගුය.
තහනම් නියෝග
ඉඩමක සිදුකෙරෙන යම් ඉදිකිරීමක් හෝ බිඳ හෙළීමක් වැලැක්වීමට දිස්ත්‍රික් අධිකරණය වෙත ඉල්ලුම් කළ හැකිය.
I.අදාළ ක්‍රියාව වහාම වැලක්වීමට අතුරු තහනම් නියෝග ද
II.අදාළ ක්‍රියාව නැවතත් සිදු වීම වැලැක්වීමට වාරණ නියෝග ද
III.අදාල ක්‍රියාව සම්පූර්ණයෙන් නැවැත්වීමට නඩුව අවසානයේ ස්තිර තහනම් නියෝග ද ලබා දීමට දිස්ත්‍රික් අධිකරණ වෙත බලතල ඇත.
එමෙන්ම,
IV.යම් ඉදිකිරීමක් ඉවත් කිරීම සඳහා විධානාත්මක ආඥාවක් ද නිකුත් කළ හැකිය.
කාලාවරෝධය නම් සංකල්පය
යම් කිසිවෙක් තවකෙකුගේ ඉඩමක් පහත සඳහන් ආකාරයෙන් වසර 10 ක් ඉක්මවා භුක්ති වින්දහොත් ඉඩම් භුක්ති විඳි අයට ඉඩම අයිති වේ.අඛණ්ඩව භුක්ති විඳිය යුතුය.
බාධාවකින් තොරව භුක්ති විදිය යුතුය.(නිර්බාධ භුක්තිය නම් වේ.)
ප්‍රතිවිරුද්ධ ලෙස භුක්ති විඳිය යුතුය.
ප්‍රතිවිරුද්ධ භුක්තිය යනු තම හිතු මනාපයට බුක්ති විදීමයි. ඉඩම් හිමියාගේ අයිතිවාසිකම් ප්‍රතික්ෂේප කර තමා භුක්ති විඳීම මෙයින් අදහස් වේ. කෙසේ නමුත්,
රජයේ ඉඩම් කාලාවරෝධී ක්‍රමයට අත්පත් කරගත නොහැකිය.
කිසියම් නොහැකියාවකින් පෙළෙන අයෙකුගේ ඉඩම් අත්පත් කරගැනීමට වසර තිහක් භුක්ති විදිය යුතුය.
විදේශගත වූ අයකුගේ ඉඩම් වසර තිහක් මෙලෙස භුක්ති විද අයිති කරගත හැකිය.
හවුල් අයිතිකරුවන්ගේ ඉඩම් මෙලෙස තනි අයිතියට ගැනීම දුෂ්කරය
ඉඩම් නඩු සම්බන්ධ කාලාවරෝදය
ඉඩම් අයිතිවාසිකම් සම්බන්ධ නඩු පැවරීමට කල්ගතවීම තුලින් නඩු පැවරීමේ අයිතිය අහිමි විය හැකිය. ඊට අදාළ සීමාවන් මතු දැක්වේ.
ඉඩම් අයිතිය සම්බන්ධව වසර 10ක් තුළ නඩු පැවරිය යුතුය.
හවුල් අයිතිකරුවන් අතර මේ කාලසීමාව බලනොපායි.
ඉඩමකින් නෙරපා හැරිය විට භුක්තිය ලබා ගැනීමට පමණක් නඩු පවරන්නේ නම් වසරක් තුළ නඩු පැවරිය යුතුය.
ඉඩමකින් නෙරපීම සම්බන්ධව “66 වගන්තියෙ” නඩුවක් පැවරීමට අවශ්‍ය නම් නෙරපීමෙන් මාස දෙකක් තුල නඩු පැවරිය යුතුය.
ලිපිය වටිනවනම්,
ඔබේ අදහස්,යෝජනා, චෝදනා, පහතින් comment කරන්න
ඔබේ යහලුවන්ගේ දැනුවත්කම උදෙසා මෙම ලිපිය share කරන්න..
මෙවන් තවත් වටිනා ලිපියකින් නැවතත් හමුවෙමු.
2 Comments
බෙදුම් නඩුවක් පවතින ඉඩමක කොටසක් නඩුවේ පාර්ශකරුවෙකු විසින් වංචනිකව වෙනත් පාර්ශවයකට ඔවුන්ව රවටා පොමිසරු නෝට්ටු ලියවා , (නීතිඥවරියක ලවා නොමග යවා ) මුදල් ලබා ගැනීමක් සිදු කර ඇත් නම්, වංචාවට අසු වුනු පුද්ගලයන්ට ගත හැකි සුදුසුම ක්‍රියාමාර්ගය කුමක්ද යන්න දැන ගත හැකිද?
ReplyDeleteස්තූතියි වැදගත්
ReplyDelete