මොනවද මේ EGR,EGR valve,EGR cooler කියන්නේ?අපි දන්න EGR එක ඇරුනම තව මොනවද තියෙන්නේ🤟🤟
❌ ගොඩක් අයගේ ඔලුවේ තියෙන්නේ EGR සිස්ටම් එක තියෙන්නේ එන්ජින් එකේ පවර් එක වැඩි කරන්න කියලා.තව ගොඩක් අය කියනවා EGR කියන්නේ ෆේල් ටෙක්නොලජි එකක්,මේකෙන් එන්ජින් පවර් අඩු වෙනවා කියලා.මේ කතන්දර දෙකම සම්පූර්ණ වැරදියි..හැබැයි EGR කියන්නෙත් වාහන වල ගොඩක් ම අලුත් අලුත් මොඩිෆිකේශන් ආපු ප්‍රධාන හේතුවම වෙන එන්ජින් එකේ අඩුවක්,වැරැද්දක් වහගන්න,ශේප් කරගන්න හදපු දෙයක්ම තමයි.
✔️ සරලව කිවුවොත් EGR තියෙන්නේ Emission Control(වායු විමෝචනය අවම කිරීම) වලට.ඒකෙනුත් NOx(නොක්ස්/නයිට්‍රජන් ඔක්සයිඩ්)හැදෙන එක නවත්තන්න.නොක්ස් කියන්නේ අහිතකර විශ වායුවක්.
මේ නොක්ස් කියන එක හැමවෙලාවකම එන්ජින් එකක් ඇතුලේ හැදෙන්නේ නෑ.ඒ නිසා හැම වෙලාවකම එන්ජින් එකට EGR එක ඕනේ නෑ.
💥 දහන කුටීරය(Combustion Chamber)සාමාන්‍යයෙන් ලොකු ටෙම්පරේචර් එකකට රත් වෙනකොට(සාමාන්‍යයෙන් 1800°C ටත් වඩා වැඩි)ඇතුලට ඇදලා ගන්න වායුවේ 78%ක් විතර තියන නයිට්‍රජන් එක්ක ඔක්සිජන් ප්‍රතික්‍රියා කරනවා 👉 සාමාන්‍යයෙන් මීට අඩු උශ්නත්වෙකදි මේ දෙකට ප්‍රතික්‍රියා කරන්න බෑ.අකුණු ගහන වෙලාවට ස්වභාවිකව මේ නොක්ස් හැදෙන්න පුලුවන්.හේතුව අධික උශ්ණත්වය.
☝☝️ සිලින්ඩර් ඇතුලේ ඔන්න ඔහොම වෙනකොට ඇතුලට එන ඔක්සිජන් ටික එක්ක නයිට්‍රජන් ප්‍රතික්‍රියා කරලා NOx හදනවා.මේක වෙන්නේ සිලින්ඩර් ඇතුලේ HC(හයිඩ්‍රෝකාබන්) අඩු නිසා.ඒකෙන් වෙන්නේ ඔක්සිජන්,නයිට්‍රජන් එක්ක ප්‍රතික්‍රියා කරන්න අවස්ථාව හැදෙන එක
ඔය දේ සිලින්ඩර් එක ඇතුලේ වෙන්නේ එක වෙලාවකදි විතරයි.ඒ එන්ජින් එකක් උපරිම ඉන්ධන කාර්‍යක්ශමතාවක් එක්ක දුවන වෙලාවට.නිකන් සාමාන්‍යයෙන් දන්න විදියට කිවුවොත් OD එක වගේ වැඩි ගියර් එකක වාහනේ ලෝඩ් එකක් නැතුව නිදහසේ දුවනවා කියලා හිතන්න.ඔය වෙලාවට එන්ජින් එක පාට් ලෝඩ් දුවන්නේ.වාහනේ දිගටම දුවවන්න ඕන කරන්නේ පොඩි බලයක්(නිවුටන් කිවුව විදියට)මොකද ඔය දුවන වාහනේට විරුද්ධව තියෙන්නේ පාරේ ඝර්ෂණය,ඉස්සරහට යද්දි තියන වායු ප්‍රතිරෝධය වගේ පොඩි බාධාවක්.ඒ නිසා එන්ජින් එකට ලැබෙන්නේ පොඩි ඉන්ධන ප්‍රමාණයක්( Lean Mixture එකක්)ඒ ටික පුච්චන්න ඕන ඔක්සිජන් ප්‍රමානෙත් පොඩ්ඩක් නිසා සිලින්ඩර් ඇතුලේ නයිට්‍රජන් එක්ක ප්‍රතික්‍රියා කරන්න ඕන කරන ඔක්සිජන් තියනවා.ඉතින් ඔය වෙලාවට NOx හැදෙන්න පුලුවන්.
📌️ EGR එකෙන් මොකක්ද මේක නවත්තන්න කරලා තියෙන්නේ?
EGR Valve එක කියලා එකක් තියනවා.ඒකෙන් පුලුවන් මාර්ගයක් අරින්න වහන්න.මේ මාර්ගේ තමයි එක්සෝස් එකේ ඉදන් ඉන්ලට් එකට දීපු ලයින් එකක්.ඒ කියන්නේ එක්සෝස් ගෑස් එක(එලියට යන දුම) ආයි හරවලා දෙනවා ඉන්ලට් එකට(ඔක්කොම නෙමෙයි පොඩි ප්‍රමාණයක්)වෑල්ව් එක ඇරුනම ඉන්ලට් එකට දුම දෙනවා.වෑල්ව් එක වැහුනම ඒ වැඩේ වෙන්නේ නෑ.සරලවම ඔතන වෙන්නේ ආන්නේක.
මේ වෑල්ව් එක අරින්න වහන්න ක්‍රම දෙකක් තියනවා.ඒ කියන්නේ EGR වෑල්ව් වර්ග දෙකක්(External EGR එක වර්ග දෙකක්)
👉 එක්කෝ ඉන්ලට් එකේ වැකියුම් එක පාවිච්චි කරලා වෑල් එක අරිනවා වහනවා(ඉන්ලට් එකෙන් වෑල්ව් එකේ ඩයප්‍රම් එකක් ලගට දීපු වැකියුම් ලයින් එකකින්)- Mechanically controled EGR
👉 එක්කෝ ඉලෙක්ට්‍රොනික් කන්ට්‍රෝල් ස්ටෙප් මෝටර් එකකින් ඒ වැඩේ කරනවා(Throttle position sensor සිග්නල්,RPM සිග්නල් අරන් එකෙන් එන්ජින් ලෝඩ් එක මැනලා)- Electronically controled EGR
📌️ මේ එක්සෝස් ගෑස් එක ආයි ඉන්ලට් එකට දුන්නම මොකක්ද ඒකෙන් වෙන්නේ 👇👇
🤟 මේ ඇතුලට එන වාතයේ කොහොමත් ආසන්නව 78%ක් නයිට්‍රජන් තියන නිසා නයිට්‍රජන් ඇතුලට එන එක නවත්තන්න බෑ.නවත්තන්න පුලුවන් එකම දේ මේ වැඩේ වෙන්න ඕනකරන උශ්ණත්වය පාලනය කරන එක.එක්සෝස් ගෑස් එක දෙන එකෙන් ඕක ක්‍රම දෙකකින් සිද්ද වෙනවා.
👉 ප්‍රධානම එක.එක්සෝස් ගෑස් එකේ වැඩිපුර තියෙන්නේ කාබන්ඩයොක්සයිඩ්.කාබන්ඩයොක්සයිඩ් කියන්නේ උශ්ණත්වය ඉක්මනට උරාගන්න පුලුවන් වායුවක්.ඒ නිසා මේක සිලින්ඩර් ඇතුලට ගිය ගමන් සිලින්ඩර් කූල් වෙනව.ඒ කියන්නේ ඔක්සිජන් නයිට්‍රජන් දෙක ප්‍රතික්‍රියා කරන්න කලින්ම කාබන්ඩයොක්සයිඩ් වලින් ක්ශනිකව ටෙම්පරේචර් එක උරාගන්නවා.
👉 තවත් අමතරව වෙන දෙයක් තියනවා.ඉන්ලට් එකටම එක්සෝස් එකත් කලවම් වෙනකොට,කොහොමත් ඇතුලට ඇදගන්න වාත පරිමාව වෙනසක් වෙන්නේ නැති නිසා ඇතුලට ගන්න වායුවට තව කාබන්ඩයොක්සයිඩ් එකතු වෙද්දි ඔක්සිජන් ප්‍රමාණේ සාපේක්ෂව අඩු වෙනවා.මෙතනදි ඔක්සිජන් අඩු වෙනවා කියන්නේ මේ අඩු වෙන්නේ දහනයට ඕන කරන ඔක්සිජන් නෙමෙයි.සිලින්ඩර් ඇතුලට වැඩිපුර පිරෙන ඔක්සිජන්.මෙහෙම ඔක්සිජන් අඩු නිසා දහන තීව්‍රතාව පාලනය වෙලා සිලින්ඩර් ඇතුලේ උශ්ණත්වය පාලනය වෙනවා
💥 මේ දෙකෙන්ම සිලින්ඩර් උශ්ණත්වය අඩු වෙන නිසා ඔක්සිජන් නයිට්‍රජන් දෙකම තිබ්බා කියලා නොක්ස්(NOx) හැදෙන්නේ නෑ💥
📌️ ඇයි එතකොට උඩ කියපු පාට් ලෝඩ් වෙලාවේ හැර එන්ජින් එකෙන් හයි පර්ෆෝමන්ස් ඕන වෙලාවක් වෙන එන්ජින් ලෝඩ් දුවන වෙලාවට මේක ඕන වෙන්නේ නැත්තේ 👇👇
එන්ජින් එක ෆුල් ලෝඩ් දුවන වෙලාවෙදි සිලින්ඩර් වලට ලැබෙන්නේ සරු මිශ්‍රණයක්( Rich mixture එකක්).එහෙම දීලා උපරිම ජවයක් ගන්නවා.ඒ නිසා ඔය වෙලාවෙදි නයිට්‍රජන් එක්ක ප්‍රතික්‍රියා කරන්න ඔක්සිජන් වලට ඉඩක් නෑ.ඒ නිසා මේ වෙලාවට EGR එක ඕන වෙන්නේ නෑ(අයිඩ්ල් ස්පීඩ් එකේදි සුලු ප්‍රමාණයක් ඇරෙන EGR සමහර එන්ජින් වල එනවා)
👉 ඒ නිසා තමයි EGR එකෙන් එන්ජින් පවර් එක අඩු වෙන්නේ නෑ කියලා කියන්නේ.මොකද එන්ජින් එකක් උපරිම කාර්‍යක්ශමතාවකින් දුවන මේ වෙලාවෙදි නොක්ස් හැදෙන්නෙත් නෑ,EGR එකෙන් සිලින්ඩර් වලට දුම පුරවන්නෙත් නෑ.ඒ වගේම තමයි පවර් එක වැඩි කරගන්නත් නෙමෙයි මේක පාවිච්චි කරන්නේ.එම්ශන් කන්ට්‍රෝල් කරන්න.
✍️ මේ External EGR එකේ තියනවා High Pressure EGR සහ Low Pressure EGR කියලා වර්ග දෙකක්.වෙනස තියෙන්නේ එක්සෝස් මැනිෆෝල්ඩ් එකෙන් ගන්න EGR ලයින් එක ගන්නේ ටර්බෝ එකේ ටර්බයින් වීල් එකට කලින්ද,පස්සෙද කියන එක.මේ දෙකේ වෙනස පැහැදිලිව බලාගන්න පහල පිංතූරයක් දාලා තියනවා.
📌️ එතකොට මොකටද EGR Cooler එකක් මේකට දාලා තියෙන්නේ👇
සාමාන්‍යයෙන් එන්ජින් එකෙන් එලියට යන එක්සෝස් ගෑස් එක 800°C ක් විතර රත් වෙලා එලියට යන්නේ.එතකොට මේ ගෑස් එක මේ විදියටම ඉන්ලට් මැනිෆෝල්ඩ් එකට දුන්නොත් මැනිෆෝල්ඩ් ඩැමේජ් වෙන්න උනත් පුලුවන්.ඒ නිසා මේක දෙන්න කලින් කූල් කරන්න තමයි කූලර් එකක් තියෙන්නේ.කූලර් ආපු වගේම කූලර් ආපු නැති EGR තියනවා.
සරලවම මේකේ වෙන්නේ මෙහෙමයි.එක පැත්තකින් එක්සෝස් ගෑස් එක දීලා එලියට ගන්නවා.තවත් ලයින් එකකින් එන්ජින් එකේ කූලන්ට් ලයින් එක දීලා එලියට ගන්නවා.කූලර් එක ඇතුලෙදි මේ දෙකම පොඩි බට වලින් එක ලගින් දුවනවා.ඒ වෙලාවෙදි ගෑස් එකේ ටෙම්පරේචර් එක කූලන්ට් වලින් උරාගන්නවා.එහෙමයි කූල් වෙන්නේ.
📌️ මේ කූලර් එකේ වගේම වෑල්ව් එකෙත් දෝශ එන්න පුලුවන්.
👉 EGR වෑල්වු එක හිර වෙන්න පුලුවන්,කාබන් බැදිලා බ්ලොක් වෙන්න පුලුවන්
මේ වගේ වෙලාවක වාහනේ ස්ටාර්ටින් අමාරු වෙන්න පුලුවන්,හාඩ් ඇක්සලරේශන් වලදි කලු දුම් දාන්න පුලුවන්,එන්ජින් මිස්ෆයර් එකක් එන්න පුලුවන්,අයිඩ්ල් එකේදි එන්ජින් එකට අමාරු ගතියක් එන්න පුලුවන්(සමහර එන්ජින් තියනවා අයිඩ්ල් එකේදිත් පොඩි ප්‍රමාණයක් EGR එක ඇරෙන)වාහනේ අදින්නේ නැතුව යන්න පුලුවන්
(මේවා වෙන්නේ නවතින්නේ නැතුව දිගටම එක්සෝස් ගෑස් එක කන්ට්‍රෝල් එකක් නැතුව සිලින්ඩර් වලට පිරෙන නිසා)
👉 කූලර් බ්ලොක් වෙන්න පුලුවන්,ඇතුලෙන් පොඩි ලයින් කැඩිලා යන්න පුලුවන්
කූලර් එක ඇතුලෙන් ඩැමේජ් උනාම කූලන්ට් එක්සෝස් ගෑස් එක එක්ක ගිහිල්ලා පිච්චිලා එලියට යන්න පුලුවන්.ඒ වෙලාවට වාහනේ සුදු දුමක් දාන්න පුලුවන්(උඩ කියපු කලු දුම,මේ කියපු සුදු දුම දාන්න තව හේතුව කලින් ඩීසල් එන්ජින් දුම පෝස්ට් එකේ තියනවා).ඒ වෙලාවට ලීක් එකක් පේන්න නැතුවම වාහනේ කූලන්ට් අඩු වෙන්න පුලුවන්.
EGR වෑල් එක ගලවලා බැලුවම තෙත ගතියක් වගේ තියනවනම් ගොඩක් දුරට කූලර් එකේ අවුලක් වෙන්න පුලුවන්.
🤟 මේ විදියේ මොකක් හරි ප්‍රශ්නයක් තියන වෙලාවට චෙක් එන්ජින් ලයිට් එක පත්තු වෙනවා.ස්කෑන් කරලා ලෙඩේ මොකක්ද කියලා බැලුවම EGR අවුලක් ද කියලා බලාගන්න පුලුවන්.
🚫🚫 ලංකාවෙදි නම් ඉතින් ගොඩක් දේවල් කරනවා වගේම මේකෙදිත් කරන්නේ EGR සිස්ටම් එක වාහනෙන් අයින් කරලා දාන එක..ඇත්තටම මේක අයින් කලා කියලා එන්ජින් එකට කිසිම හානියක් නෑ.පරිසර දූශණය තමයි එකම අවුල.ඒ නිසා EGR අවුලකදි EGR වෑල් ගලවලා ක්ලීන් කරලා හරි වෑල්ව් එක රීප්ලේස් කරලා හරි ඒ විදියටම ඒ දේවල් තියාගන්න එක තමයි හොදම දේ✔️✔️
EGR කිවුවම ගොඩක්ම දන්නේ මේ සිස්ටම් එක ගැන.උඩ තැනක කිවුවා වගේ ඒක External EGR සිස්ටම් එකක්.හැබැයි මේ ක්‍රමේට අමතරව තව විධි තියනවා මේ වැඩේ කරන්න.ඒ කියන්නේ Internal system.හැබැයි වෙන්නේ එක දේ.සිලින්ඩර් ඇතුලට එක්සෝස් ගෑස් ටිකක් පුරවගන්න එක.
📌️ Pulse EGR කියලා එක ක්‍රමයක් තියනවා.මේකෙදි වෙන්නේ වෙනම කෑම් ලොබ් එකක් පාවිච්චි කරලා සක්ශන් ස්ට්‍රෝක් එකේදි එක්සෝස් වෑල්ව් එක පොඩ්ඩක් අරින එක(පහල දාලා තියන පින්තූරෙන් පැහැදිලි වෙයි)
💥👉 ගොඩක් අය දන්න එන්ජින් වෑල්ව් ඕවර්ලැප් එක කියන එකෙත් තියන විශේශත්වයක් මේක.වෑල්ව් ඕවර්ලැප් එකේදි ඉන්ලට් එකයි එක්සෝස් එකයි දෙකම එකම වෙලාවේ ඇරිලා තියන පොඩි වෙලාවක් තියනවා.එතනදිත් මේ දේ වෙනවා.
📌️ මේ හැම වර්ගයක්ම අපිට සාමාන්‍ය වාහන වල දකින්න නෑ.ඒත් කන්ස්ට්‍රක්ශන්,හෙවි පැත්තට යනකොට වාහන වල නොවෙන එන්ජින් වලට යනකොට කලාතුරකින් හම්බෙන දේවල් වගේම දැක්කත් අපි නොහිතන දේවල්.
මේ ඇරුනම,
👉 ඉග්නීශියන් ටයිමින් වැරදි තියනකොට
👉 එන්ජින් ඕවර්හීට් වීම්
👉 කැටලික් කන්වර්ටර් අවුල් උනාමත් එන්ජින් එකක නොක්ස් හැදෙන්න පුලුවන්.
💥 EGR සිස්ටම් එකකින් අපි NOx හැදෙන එක නවත්තගන්නවා වගේම තව පොඩි පොඩි වාසි ටිකකුත් මේකෙන් ලැබෙනවා
🤟 එන්ජින් එකේ හීට් එක ගොඩක් වැඩි වෙන්න නොදී තියාගන්න නිසා එන්ජින් එකක ආයුකාලය වැඩි වෙනවා
🤟 යම්තාක් දුරකට ඉන්ධන කාර්‍යක්ශමතාවය වැඩි වෙනවා
⭕ පරිසර දූශණය ගැන නොහිතුවත් ඔන්න ඔය දෙක ගැන හිතලා පොකට් එකට හොද නිසා හරි EGR එක අයින් නොකර රෙපෙයාර් හෝ රීප්ලේස් කරන්න😁😁
😌😌උපුටා ගැනීම - සචින්ත සේනාරත්න😒😒
ජයවේවා🇱🇰💝
0 Comments