පිරමීඩ ජාවාරම් වලට නොදැනුවත්ව අහු වෙන හැටි.


මහන්සි නොවී ඉක්මනින් ධනවත් වෙන්න එහෙම ආසාවක් තියෙනවද?
ඔබට හදිසියේම ඔබ හොඳින් දන්නා කෙනෙක් කතා කරයි.
“වැඩක් සෙට් වුණා. විස්තර පස්සෙ කියන්නම්, අහවල් දවසේ උදේම අහවල් තැනට එන්න.“
- “මොකක්ද වැඩේ?“
“පොඩි බිස්නස් එකක්, මහන්සි නොවී ගෙදර ඉඳන්ම මාසෙට 60, 000ක් 70, 000ක් ‍හොයාගන්න පුලුවන් වැඩක්....“.


(මේ කතා කරන කෙනා ඔබ කොයි තරම් හොඳින් හඳුනන කෙනෙක් වුණත් මේ එන්න කියන්නෙ මොන අහවල් දෙයක් කරන්නද කියලා එදාට ගියොත් මිසක් දැනගන්න නම් ලැබෙන්නෙ නැහැ)
* * *
එහෙමත් නැත්නම්,
ඔබ හඳුනන කෙනෙක් හදිසියේම ගෙදරට ඒවි. ඇවිත් වෙන වෙන වල්පල් කතාකරමින් ඉඳලා හෙමින්සැරේ ට්‍රැක් මාරු කරලා කියයි, “පොඩි බිස්නස් එකක් කරන්න අදහසක් තියෙනවා, සෙට්වෙලා කරමුද?“
- “මොනවගේ බිස්නස් එකක්ද?“
“ගෙදර ඉඳන් පාට් ටයිම් කරන්න පුලුවන් වැඩක්, බය වෙන්න එපා, මේක සම්පූර්ණයෙන්ම නීත්‍යානුකූල වැඩක්. මෙහෙම කිව්වම මොනවගේ දෙයක් කියලද හිතෙන්නෙ?“
- “හිතාගන්න බැහැනෙ!“
“මුලින් ඔයා අපෙන් භාණ්ඩයක් මිලදීගන්න ඕනි. අපි ළඟ පැකේජස් කීපයක්ම තියෙනවා“
(මේ ඔක්කොම අදාළ භාණ්ඩයේ සැබෑ වටිනාකම වගේ කීපගුණයකින් වැඩි අස්ප ගණන් ඒවා).
“ඔයා ගන්න පැකේජ් එක අනුව ඔයාට මේ මේ ප්‍රතිලාභ ලැබෙනවා. ඉන්පස්සෙ කරන්න තියෙන්නෙ ඔයා අඳුනන කීපදෙනෙක්ට මේ භාණ්ඩ හඳුන්වාදෙන එකයි. ඔයාට පහළින් එකතුවෙන ඕනම කෙනෙක් භාණ්ඩයක් ගත්තම ඔයාට ප්‍රතිලාභයක් ලැබෙනවා. කිසිම මහන්සියක් නැතිව ගෙදර ඉඳන් හොඳ ගාණක් හම්බකරගන්න පුලුවන්“
- “අපෝ, පිරමිඩ් නේද?“
“නෑ. පිරමිඩ් නෙවෙයි. මේ ක්‍රමයට අපි කියන්නෙ නෙට්වර්ක් මාකටිං/ඩිරෙක්ට් සේල්ස් කියලා. මේ තියෙන්නෙ අපේ ලියාපදිංචි සහතිකය. පිරමිඩ් නම් මෙච්චර අවුරුදු ගාණක් මේක කරගෙන එන්න බැහැනෙ. අපි කරන්නෙ අතරමැදියො නැතිව කෙළින්ම පාරිභෝගිකයා ළඟටම භාණ්ඩය ගෙනත් දෙන එක.“
(ඇත්තටම මේකෙ පාරිභෝගිකයෙක් කියලා අවසන් පරිභෝජකයෙක් නැහැ. ඉන්නෙ අලෙවි කරුවෙකුගෙන් භාණ්ඩය අරන් තවත් අලෙවිකරුවන් කීපදෙනෙකුට විකුණනඅලෙවිකරුවන් පිරිසක් විතරයි).
“එතකොට අනෙක් සමාගම් මාකටිං වලට බෙදාහැරීම් වලට දරන සම්පූර්ණ වියදමම ඉතිරියි. ඒ ඉතිරිවෙන මුදල බෙදෙන්නේ අපේ නෙට්වර්ක් එකේ ඉන්න අය අතරේ. ඔයාගෙ නෙට්වර්ක් එක පුළුල් වෙන තරමට ලැබෙන ප්‍රතිලාභයත් වැඩිවෙනවා.“
(පාරිභෝගිකයෙක් භාණ්ඩයක් මිලදීගන්නෙ අවශ්‍යතා වුවමනා සපුරාගන්න. එහෙම මිලදීගන්නෙත් තමන් ගෙවන මුදලට සරිලන වටිනාකමක් ලැබෙන භාණ්ඩ විතරයි. නමුත් මේ භාණ්ඩය ගන්න මිනිහට ඇති අවශ්‍යතාවයකුත් නැහැ, ගෙවන මුදලට කිසිම වටිනාකමකුත් නැහැ! මේ ධුරාවලියේ ඉහළට මුදල් ප්‍රවාහයක් ගලාගෙන ගියාට පහළට වටිනාකමක් ගලාගෙන නොයන නිසා මේක ඔය කියන විදියෙ එකක් නෙවෙයි)
ඉන්පස්සෙ ඔබේ දුක සහ මුදල් තණ්හාව ප්‍රයෝජනයට අරගෙන ඔබේ මාසික ආදයම් වියදම් සිදුවන ආකාරයත්, කවදාවත් ඉතිරියක් සිදු නොවන ආකාරයත්, ඉතා ඉක්මනින් ඔබේ හීන හැබෑ කරගන්නා ආකාරයත් කියලා අන්තිමට මාසෙකට ලක්ෂ 70-80ක ආදායමක් එන හැටි ඇස් පනාපිට රූප සටහන් ඇඳලා ඔප්පු කරලා පෙන්නයි!
“කිසිම බලකිරීමක් නැහැ, කැමතිනම් දවසක් ඇතුළත මට කියන්න...ආයෙ ඉතින් හිතන්න දෙයක් නෑ. ආවොත් ගොඩම තමයි. හරිගියෙ නැත්නම් මම පාඩුව අතින් ඔයාට ගෙවනවා. ඕනිනම් කොළයක අත්සන් කරලා දෙන්නම්!“
(වැඩේ ඇනිලා අර කටින් දුන්න Money Back Guarantee එක ගැන අහන්න ගියාම කවදාවත් ඉටු කරන්න බැරි කොන්දේසි ගොඩකට ඔබ එකඟවෙලා ඉන්න බව දැනගන්න ලැබේවි. මොකද එදාට ඒ මනුස්සයාත් අනාගෙන ඒ මනුස්සයාටguarantee එක දුන්න මනුස්සයත් අනාගෙනනෙ ඉන්නෙ. ඉතින් කොහෙන්ද සල්ලි? )
ඔය උඩ කිව්ව අවස්ථා දෙකට ඔබ මුහුණ දීලත් ඇති. එහෙමත් නැත්නම් ළඟදිම දවසක මුහුණදෙන්න සිද්ධවේවි.
දැනටමත් ඔබ හොඳින් දන්නා හඳුනන, විශ්වාස කරන කවුරු හරි මෙහෙම කිව්වද? කළාද?
එහෙමනම් ටිකක් පරිස්සම් වුණොත් හොඳයි!. මොකද ඒ කතා කරන්නේ නීති විරෝධී පිරමිඩ යෝජනා ක්‍රමයකට (එහෙමත් නැත්නම් Multilevel/Network Marketing / Direct salesබව පෙන්වමින් එන වහෙන් ඔරෝ පිරමීඩ යෝජනා ක්‍රමයකට) ඔබව සම්බන්ධ කරගැනීම සඳහා වෙන්න පුලුවන්.
ඉතින් යාලුකම/නෑදෑකමයි, සල්ලියි නැති කරගෙන මිනිස්සුන්ගෙන් බැණුම් අහලා ඒ මදිවට හිරේ විලංගුවෙත් වැටෙන්න කලින් මේ ලිපිය කියවන්න.
දිගු කාලීන වේදනා ජනිත කරමින්, මූල්‍ය විනාශයන්ට අමතරව පුද්ගලික හා සමාජ ව්‍යසනයන්ට හේතු වෙමින් වඩ වඩාත් ප‍්‍රබල අයුරෙන් පැතිරෙන නිසාත්,වටහාගැනීමට අපහසු, කලාතුරකින් අධ්‍යයනය කෙරෙන සහ විවිධ නම්වලින් හැඳින්වෙන මේවා තවදුරටත් විනාශකාරීවිය හැකි බැවිනුත්” ඇමෙරිකා එක්සත් ජනපදයේ පිරමිඩ් ඇලර්ට් (Pyramid Alert) සංවිධානය විසින් පිරමිඩ යෝජනා ක‍්‍රම මූල්‍ය සුනාමියක් ලෙස හඳුන්වලා තියෙනවා.
සරලවම කිව්වොත්, යම් යෝජනා ක්‍රමයකට (Scheme) තමන් යටතේ
මුදලින් කොටසක් තමයි තවත් කෙනෙකුට ලැබෙන්නෙ. අලුතින් සාමාජිකයො එන එක නැවතුණ දවසක මුදලුත් නැතිවෙනවා. අලුතෙන් බඳවාගන්නකොට ගෙවන මුදල විතරයිනෙ තියෙන එකම ලැබීම. ඉතින් අලුත් අය අඩුවෙනකොට, නැති වෙනකොට කොහෙන්ද සල්ලි?
එක හේතුවක් තමයි වරද්දාගත්තු මිනිස්සු ලැජ්ජාවට සද්ද නැතිව ඉන්න එක

. වැඩි තණ්හාවට ගිහින් තිබුණ සල්ලිත් නැතිකරගත්තා කියලා කාටහරි කියන්න පුලුවන්ද ලැජ්ජා නැතුව. ඉතින් මේ අය සද්දනැතිව තමන්ටම බැනගෙන පැත්තකට වෙලා ඉන්නවා. ඒ නිසා මිනිස්සු දැනුවත්වීම අඩු නිසා සමාගම දිගටම කෙරීගෙන යනවා.
අනිත් එක තමයි 10දෙනෙක් හොයාගන්න බැරිව හෝ වෙනත් හේතුවක් නිසා පාඩු ලබන කෙනෙක් ඉවත්ව යනකොට ඒ ඉඩ අලුත් කෙනෙක්ගෙන් පිරෙන එක.
ඒ වගේම මේ සමාගම් රජයේ නිලධාරීන්ට සහ දේශපාලකයින්ට මදි නොකියන්න හොඳට සලකනවා. ඉතින් මේවාට වැට බැඳෙන්න තියෙන ඉඩකඩ අඩු වෙලා යනවා.
පිරමීඩ සමාගම් එහි සාමාජිකයින්ට ලැබෙන සාමාන්‍ය ප්‍රතිලාභ ගැන හෙළි කරන්නෙ නැහැ. ඒ වෙනුවට කරන්නෙ ඉහළම ඉන්න හොඳින් මුදල් උපයන කීපදෙනෙක් විතරක් අල්ලගෙන ඒ අයව ඉස්මතු කරලා පෙන්වන අය. ඔය සම්මන්ත්‍රණ වලට එහෙම ඇවිත් කතා කරන්නෙ ඔය සුලු පිරිසෙන් කීපදෙනෙක් තමයි. ඒ නිසා ඒ අය දකින අලුත් සාමාජිකයො හිතන්නෙ සම්බන්ධවෙන හැමෝටම වසර කීපයකින් අර පිරිස ඉන්න ආර්ථික මට්ටමට යන්න පුලුවන් කියලයි. ඒ අයට තේරෙන්නෙ නැහැ තමන් ඉන්නෙ ගොඩ ඒමක් නැති පිරමීඩයෙ පතුළෙ බව. ඉතින් අලුතින් කට්ටිය එනවා. සමාගම කෙරීගෙන යනවා.
පිරමීඩ යෝජනා ක්‍රම ප්‍රවර්ධනය කරන අය මේකෙ අගක් මුලක් හොයාගන්න බැරි වෙන විදියට නීති රීති, ක්‍රමවේද පටළවනවා. ඉතින් සාමාන්‍ය මනුස්සයෙකුට සල්ලිම මිසක් සිද්ධ වෙන්නෙ මොකක්ද කියල පේන්නෙ නැහැ.
1. කලින් කිව්වා වගේ කවදාහෝ මේ පිරමීඩ යෝජනාක්‍රමය බිඳ වැටෙනකොට සහභාගීවෙන අයගෙන් 90% - 99% ප්‍රමාණයකට මූල්‍යමය වශයෙන් පාඩු සිද්ධ වෙනවා.
2. බොහෝවිට කෙනෙක් මේ සඳහා තමන් යටතේ බඳවාගන්නෙ තමන්ගෙම යාලුවෙක්, නෑයෙක් නිසා මේ විදියට ඒ කියූ ආකාරයේ ප්‍රතිලාභයක් නැති වෙද්දී ඒ සම්බන්ධතා පළුදු වෙලා යන්න පුලුවන්. මොකද ඔබ බොරුකාරයෙක්, වංචා කාරයෙක් බව ඒ අයට හිතෙන නිසා. දික්කසාද, දිවිනසාගැනීම් වලටත් මේ ජාවාරම හේතු වෙන්න පුලුවන්.
3. ගොඩක් වෙලාවට මේවට අහුවෙන්නෙ දැනටමත් ආර්ථික මට්ටම පහළ වැටුණු අය. ඒ අය මේවාට මුදල් හොයාගන්නෙ කණකර උකස් කරලා. එහෙම නැත්නම් ණය අරගෙන. ඉතින් පිරමීඩ බිඳවැටීමකදි ඒ සියල්ලත් අහිමි වීමෙන් කබලෙන් ලිපට වැටීමක් තමයි සිද්ධ වෙන්නෙ.
සාමාන්‍ය බුද්ධියක් තියෙන හැමෝටම මොකක් හෝ හැකියාවක් තියෙනවා. ඔබ කරන රැකියාවෙන් ලැබෙන ආදායම මදිනම් ඔබට තියෙන හැකියාවන් පාවිච්චි කරලා සාධාරණ නීත්‍යානුකූල ක්‍රම වලින් මුදල් හම්බකරන්න. එහෙම නැත්නම් ඔබඅපේක්ෂාකරන වටිනාකම ලැබෙන රැකියාවක් ගැන සොයාබලන්න. තමන්ගේ ව්‍යාපාරයක් කරන්න. කම්මැලි කමට නිකං ඉඳන් මුදල් හම්බකරන්න ගිහින් මේ වගේ ජාවාරම් වලට අහුවෙලා අමාරුවෙ වැටෙන්න එපා.
තමන්ගේ ආර්ථික අපහසුතාවයන් වෙනත් කෙනෙකුට වාසියට හරවගෙන ඔබව රවට්ටාගන්න ඉඩ තියන්න එපා. මොකද අසාධාරණ ක්‍රමවලින් මිනිස්සු රවට්ටලාහම්බකරන මුදල් කවදාවත් යාදෙන්නෙ නැහැ. ටික කාලයක් වැඩේ නැගලා යනවා කියල හිතෙයි. හැබැයි අන්තිමේදි මේවායින් ඔබට වැඩකුත් නෑ, රටට වැඩකුත් නෑ!
තණ්හාව සීමාකරගන්න. වැඩි තණ්හාව විනාශයට මුලනේ. මුදල් ගොඩක් ලැබෙනවා කිව්ව පමණින් කවුරුවත් කියන කියන දේවල් කරන්න යන්න එපා.මොළය පාවිච්චි කරන්න. ඔබට මේ වගේ ජාවාරමකින් රැවටීමට ලක් වුණානම් ලැජ්ජා නොවී කියන්න. ඒකෙන් තව කීපදෙනෙකුගේ ජීවිත වැරදෙන එක වළක්වාගන්න පුලුවන් වුණොත් ඒක පිනක්.
ඔබේ අත්දැකීම් සහ අදහස් පහළින් කමෙන්ට් කරන්න.
තොරතුරු මූලාශ්‍ර :
ශ්‍රී ලංකා මහ බැංකුව වෙතින් නිකුත් කෙරුණු "පිරමීඩ සහ ජාල අලෙවිකරණ වැඩසටහන් මගින් ඇතිකරන අන්තරායකර බලපෑම්" අත් පත

උපුටාගැනිමකී...

Post a Comment

0 Comments