කටරොලු- (Clitoriyaa ternatea) වල ඖශදීය වටිනාකම


වසර දහස් ගණනක සිට මිනිස් වර්ගයාගේ ගත සිත සුවපත්කරන කටරොලු ප්‍රධාන ප්‍රභේද දෙකකින් යුතු අලංකාර මල් සහිත ඖෂධීය වැල් ශාකයක්.සුදුමල් සහිත වැල එළ කටරොලු ලෙසත්, නිල් මල් සහිත වැල නිල් කටරොලු ලෙසත් හැඳින්වෙනවා .ශාකය  fabaceae කුලයට අයත්වන්නක්.

                               මෙරට මෙන්ම ඉන්දියාව තායිලන්තය බුරුමය ආදි රටවල දක්නට ලැබෙන කටරොලු butterfly pea අපරාජිතා, ගිරිකර්ණිකා , ගේ කුරනි ආදි නම්වලින් හඳුන්වනු ලබනවා.මෙහි කොළ දලු මල් , සම්බෝල මැල්ලුම්, කොළ කැඳ, තේ ආදිය සැකසීමට යොදාගන්නවා.තායිලන්ත වාසීන් වියළි, මල් උතුරන දියෙහි දමා තබා පොඩිකර ගත් යුෂ එක්කර රස ගුණැති බතක් ද පිසිනවා. ඇතැම් රටවල එහි ළපටි කරල් වෑංජනයට උයනවා. මල් පපඩම් ලෙස බැද කෑමට ගන්නවා.



දේශීය වෛද්‍ය බුද්ධදාස රජුගේ සාරාර්ථ සංග්‍රහයේත් ආයුර්වේද සංහිතා ග්‍රන්ථවලත් කටරොලු ඔසු ගුණ ගැන සඳහන් වෙනවා .

අතීත වෛද්‍යවරුන්ගේ දර්ශනය අනුව, එය පොදුවේ රුධිර දෝෂ වාත දෝෂ දැවිලි ඉදිමුම් සුව කරන්නක්.

සුශ්‍රැත සංහිතාව කියා සිටින්නේ කටරොලු විවිධ රෝග නස්න කිරීම් මගින් සුව කළ හැකි ශිරෝ විරේචන ගුණැති ඔසුවක් බවයි. ඒ අනුව තද හිසේ කැක්කුමක දී කටරොලු කොළ තැලූ යුෂ, බිංදු දෙකක් නාසයට ඇදීමෙන් ක්ෂණික සුවයක් අත්වන බව සඳහන්.

කටරොලු තිත්ත රස හා සිසිල ගුණැති ශාකයක්.

වා පිත් සෙම් තුන් දොස ම සමනය කරන්නක්. මල් කොළ මුල් ඇට පොතු යන පංචාංගය ම රෝග ප්‍රතිකාර සඳ හා යොදාගනු ලබනවා .
එය සිරුරේ අභ්‍යන්තර මෙන්ම බාහිරරෝග සුවයටද සහාය වන්නක්. පංචාංග කෂාය සිරුරේ සියලු සෙම් රෝග සුවකරන්නක් බව පර්යේෂණවලින් ද සනාථ වි තිබෙනවා .සෙම් ප්‍රතිශ්‍යාව කැස්ස ඇදුම ආදියට සහන සලසන කටරොලු ශරීර උෂ්ණය පහත හෙළන ගුණයෙන් යුක්තයි. එහෙයින් උණ රෝග ද පාලනය කර දෙන ඔසුවක්.සෙම් අමාරු දුරු කිරීමට වියළි මුල් යොදා දුම් ඇල්ලීමෙන් සුව සැලසෙනවා .උෂ්ණයට සැදෙන මුඛ තුවාල සුවයට සුදු කටරොල් දලු මල් සම්බෝල සකසා ආහාරයට ගන්නා බව සඳහන්.එහි ඇති සිසිල ගුණය ආමාශ තුවාල සුව කිරීමට ද උපකාරි වන්නක්.කටරොලු පංචාංග කෂාය මුත්‍රා ගල්, මුත්‍රා දැවිලි, මුත්‍රා අඩස්සිවලට එරෙහිව ද ක්‍රියා කරන්නක්. රුධිරගත සීනි පාලනයේ හැකියාව ඇති එය දියවැඩියාව පාලනය කරනවා.



ඇස්වලට හිතකර කටරොලු අක්ෂි රෝග පාලනය කරමින් පෙනීම වර්ධනය කර ගැන්මටත් උපකාරී වන්නක්. සමේ ඇතිවන කුෂ්ට තුවාල පමණක් නොව සුදු කබර වැනි චර්ම රෝග පවා සුවකරමින් සම නිරෝගි කරන්නට ශාකය සමත්. සමේ වියපත් රැලි මකා දමමින් තරුණ පෙනුම දිගුකාලයක් රඳවා දෙන්නත් ඊට හැකියි . එසේ ම එය හිසකෙස් නිරෝගිකර වර්ධනය කරන්නක් ලෙස ද සඳහන්වනවා.




මොළය වර්ධනය කිරීමේ සුවිශේෂ හැකියාවක් ශාකය සතුයි. මතක ශක්තිය දියුණු කරන එය ප්‍රශ්න විසඳීමේ හැකියාවන් වඩන බව සඳහන්. එසේ ම මානසික ආතතිය දුරුකරන අතර මොළයේ ගැටළු ඇති උන්මාද රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා ද යොදාගන්නවා.

උන්මාද රෝගීන්ට එළ කටරොලු මුල් යුෂ හාල්පානු දිය හා එළඟි තෙල් සමග මිශ්‍රකර පානය කිරීමට දෙනු ලබනවා.



වේදනා නාශක‍යක් සේද ක්‍රියාකරන කටරොලු අර්ශස් වේදනා සන්ධි ඉදිමුම් ආදිය සමනය කිරීමට සහායවන්නක් ලෙස සඳහන්වනවා .එය ලේ ගැලීම් පාලනය කරනවා. බරවා රෝගයට එරෙභිව ප්‍රතිචාර දක්වනවා.

මුඛය ආශ්‍රිත රෝග වේදනා දුරු කරනවා.
කටරොල් මුල් ගම්මිරිස් ඇටයක් සමග අඹරා වේදනා දෙන දතෙහි තැබීමෙන් දත් කැක්කුම සමනය වනවා.
උගුරේ ආසාදනවලදී කටරොලු පත්‍ර අඹරා උගුරේ ආලේප කිරීමෙන් සහන සැළැසෙනවා.
විවිධ දුර්වලතා නිසා අධික ලෙස සිරුරෙන් දහදිය වැගිරෙනවිට කටුරොල් කොළ අමු ඉඟුරු සමග සමව ගෙන අඹරා කල්කයක් සේ ආහාරයට ගැන්මෙන් සිරුර සාමාන්‍ය තත්ත්වයට පත්කරගත හැකි බවත් සඳහන්.



කටරොලු අක්මාවේ ගැටලු ව්සඳීමටද සහායවන්නක්.

එය විෂ දුරුකිරීමේ ශක්තිය සහිතයි. කෘමි සර්ප දෂ්ටවලදී කටරොලු මුල් කෂාය ලබා දෙනවා .මුල් දෙහි ඇඹුලෙන් අඹරා දෙනවා.
කටරොලු හදවතට හිතකරවන අතර කොලෙස්ටරෝල් මට්ටම යහපත් කර දෙන්නක් සේ ද සැලකෙනවා.
දරු සම්පත් අහිමි, කාන්තා පිරිමි දෙපක්ෂයටම එය සපුරාගන්නට උපකාරිවන ශක්තිය ද කටරොලු ශාකය සතු බව සඳහන්වනවා.
නිල් මල සහිත ශාකය ගර්හාෂ රෝග පාලනයටත් සුදුමල් ශාකය ගලගණ්ඩය පාලනයටත් උපකාරිවනවා. සුදුමල් ශාකය වතුර පත හතර එකට සිඳවූ කෂාය පානයෙන් ගලගණ්ඩ රෝගය පාලනය වන බව සඳහන්.
වියළි නිල් කටරොල් මල් පානය බොහෝ රෝගවලින් මිදී නිරෝගි සුව ලබාගැන්මට අතීතයේ සිටම යොදා ගන්නක් බව සඳහන්.
ඒවා නටන උණු දියේ දමා ජලය මනාව වර්ණවත් වූ පසු, දෙහියුෂත් පැණිත් යොදා පානය කරනවා .



ශාකය ඇතැමකුට අසාත්මිකවිය හැකි අතර එවැන්නකුට අභ්‍යන්තර භාවිතයෙන් වමන පාචන ගති ඇතිවිය හැකියි .

එය බොහෝ ගුණ දායක වුවත් ගැබිණි හා කිරි දෙන මවුන්ටද එතරම් හිතකර නොවන බවයි සඳහන්වන්නේ .



කටරොලු වලින් අත්බෙහෙත්




*සුදු කබරවලට.

ශාකමුල් අඹරා ආලේප කිරිම.



*කැස්ස සෙම් ප්‍රතිශ්‍යාව වැනි සෙම් රෝගවලට.

වියළි ශාක මුල්කුඩු ග්රෑම් 1-3 ප්‍රමාණයක් උණු දිය සමග පානය කිරීම



* අර්ශස් ගෙඩිවලට

ශාකය සහමුලින් ගෙන ගලේ අඹරා ආලේප කිරීම



*සමේ රෝගවලට

කටරොලු ඇට කබලේ බැද කුඩුකර මී පැණි සමග මිශ්‍රකර වරකට ග්‍රෑම් 5-10 පානය කිරීම



*හන්දි පත් වේදනා වලට

*විස ශරීරගතවූ තැන්වලට
ශාකයේ කොළ අඹරා ආලේප කිරීම



(මූලාශ්‍ර හා සේයා රූ- අන්තර්ජාලය හා වෛද්‍ය ලේඛන ඇසුරිනි.)







Post a Comment

0 Comments