සමථකරණය
සමථය හෙවත් ආරවුලකට අදාල දෙපාර්ශවය කැමැත්තෙන් සුදුසු තීරණයකට එළඹීම ගැටලු විසඳීමේ ප්‍රශස්ත ක්‍රමවේදයකි. සමථකරණයට අදාල මූලික ඉගැන්වීම් වසර 2500 ක් පැරණි ත්‍රිපිටක ග්‍රන්ථවල පවා හමු වේ.
“ජයග්‍රාහකයා වෛරක්කාරයන් බිහි කර ගනී”
“පරාජිතයා දුකෙන් තැවෙයි”
“ජය පරාජය දෙකම අත්හැරීමෙන් ශාන්තියක්ම වේ”
යන්න බුද්ධ දේශනයන් හි දැක්වේ.( ධම්ම පදය)
ශ්‍රීලංකාවේ සමථකරණය පිළිබද නීතිය 1988 අංක 72, 1997 අංක 15 යන පනත් වල ප්‍රධාන වශයෙන් අඩංගු කර ඇත. සුනාමි ව්‍යසනයට අදාළ ආරවුල් සමථකරණය සදහා 2005 වර්ෂයේදී වෙනම පනතක් හඳුන්වා දෙනු ලැබීය.
සමථකරණය ක්‍රියාවලිය
සමථ කරුවන් නම් වූ මැදිහත්කරුවන් මඟින් ආරවුලේ පාර්ශවකරුවන්ට විසඳුමකට එළඹීමට උපකාරීවීම සමථකරණය ක්‍රියාවලියයි.
* මෙහිදී සාක්ෂි විභාග කිරීමක් සිදු නොවේ.
* නීතිඥවරුන් මගින් පෙනී සිටීමක් සිදු නොවේ.
* පාර්ශවයන්ට චෝදනා එල්ල කිරීමක් සිදු නොවේ.
ඒ වෙනුවට ආරවුලේ මූල හේතුව සොයා එය ඉවත් කිරීම මගින් ගැටලුවට ස්ථිරසාර විසඳුමක් ලබා ගැනීම අපේක්ෂා කෙරේ.
සමථකරුවන් නීතීඥයන් හෝ අධිකරණ නිලධාරින් නොවන බැවින් තාක්ෂණික ප්‍රයෝග අත්හැර සුහදව තීරණ වලට එළැඹීමේ වාතාවරණයක් සමථකරණය තුළදී බිහිවේ.
සමථකරණයට යොමු කළ හැකි ආරවුල්
සමථකරණය සදහා යොමු කළ හැකි ආරවුල් හා යොමු කළ යුතු ආරවුල් වශයෙන් වර්ග දෙකක ආරවුල ගැන අපට සලකා බැලිය හැකිය.
පහත දැක්වෙන වර්ග වලට අයත් ආරවුල් සම්බන්ධව නඩු පැවරීමට පෙර අනිවාර්යයෙන් සමථකරණය සදහා යොමු කළ යුතුය.
* වටිනාකම 25000/-ක් නොඉක්මවන දේපලක් හෝ මුදලක් හෝ ඉල්ලීමක් සම්බන්ධ ආරවුල්.
* රු. 500000/- නොඉක්මවන සුනාමි ව්‍යසනය සම්බන්ධ ආරවුල් (මේවා සුනාමි සම්බන්ධ ආරවුල් විසඳීම සඳහා පිහිටුවා ඇති විශේෂ සමථ මණ්ඩල වෙත යොමු කළ යුතුය.)
සමථ මණ්ඩල පනතේ 02 වන උපලේඛණයේ දැක්වෙන වැරදි. ඒවා නම්’
* කලහ කිරීම
* තුවාල කිරීම
* බරපතල තුවාල කිරීම
* ප්‍රකෝප කිරීම මත බරපතළ තුවාල කිරීම
* අන්තරායකාරී ක්‍රියාවන් මගින් බරපතල තුවාල කිරීම
* අයුතු අවහිරය
* අයුතු ලෙස සිරකර තැබීම
* අඩන්තේට්ටම් කිරීම
* සාපරාධි බලහත්කාරය
* දේපල වංක ලෙස පරිහරණය
* අනර්ථය(පුද්ගලයකුට එරෙහිව)
* ගවයන් ආදී සතුන් මරා අනර්ථය කිරීම
* සාපරාධී අයුතු ඇතුලු වීම
* ගෙයකට අයුතු ලෙස ඇතුළු වීම
* අපකීර්තිකර දෙයක් මුද්‍රණය /කැටයම් කිරීම, එවැන්නක් විකිණීම
* නින්දා කිරීම
* සාපරාධී බිය ගැන්වීම.
(මෙකී වැරදි සම්බන්ධ අපරාධ නඩු පොලීසිය විසින් පළමුව සමථකරණයට යොමු කරනු ලැබේ. ආරවුල සමථ නොවූයේ නම් මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරනු ලැබේ.)
සමථ මණ්ඩල වෙත ආරවුල් යොමු කරන අයුරු
සමථ මණ්ඩල වෙත ආරවුල් යොමු කිරීම ආකාර කිහිපයකටම සිදු කළ හැකිය.
1. යම්කිසි වරදක් සඳහා නඩු පැවරීමට පෙර එය සමථ කළ හැකි වරදක් නම් පොලිස් ස්ථානාධිපතිවරයා විසින් සමථ මණ්ඩලය වෙත යොමු කරනු ලැබේ.
2. සිවිල් අධිකරණයක නඩුවක් පවතින විට පාර්ශවකරුවන්ගේ ලිඛිත කැමැත්ත මත අධිකරණයට එම ආරවුල සමථකරණය සඳහා යොමු කළ හැකිය.
3. රු. 25,000/- ට අඩු ඉල්ලීම් සම්බන්ධව දිස්ත්‍රික් අධිකරණයට යොමු කර ඇති නඩුවට අදාළව ආරවුල නිරවුල් නොකිරීමේ සහතිකයක් ලබා නැතිනම් අනිවාර්යයයෙන් සමථකරණයට යොමු කරනු ලැබේ.
4. සිවිල් ආරවුලක පාර්ශවකරුවකු ට සමථ මණ්ඩලයේ සභාපති අමතා ලියන ලද ලිපියකින් ආරවුල් සමථකරණයට යොමු කළ හැකිය.
සමථ මණ්ඩලවල බල ප්‍රදේශ
* ආරවුල් සමථකරණය සදහා යොමු කිරීමේ නිවැරදි බල ප්‍රදේශයට අදාළ සමථමණ්ඩලය වෙත යොමු කළ යුතුය.
* නිශ්චල දේපළ සම්බන්ධ ආරවුල් දේපළ පිහිටි ප්‍රදේශයේ සමථ මණ්ඩලයට යොමු කළ යුතුය.
* ගිවිසුමක් සම්බන්ධව ගිවිසුම ඇති කර ගන්නා ලද ප්‍රදේශය අදාළ වේ.
* නඩුවක් සමථකරණයට යොමු කිරීමේදී අදාල අධිකරණයේ බල සීමාවට අදාල සමථ මණ්ඩලයට යොමු කළ යුතුය.( 1988- 72 සමථ මණ්ඩල පනත- 6 වන වගන්තිය.)
* සුනාමි වන්දි වලට අදාල ආරවුල් ඒ සඳහා දිස්ත්‍රික්කය වෙනුවෙන් පිහිටුවා ඇති විශේෂ සමථ මණ්ඩල වෙත යොමු කළ යුතුය.
සටහන :
සමථ මණ්ඩල බල ප්‍රදේශයන් තම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි මහතාගෙන් අසා දැනගත හැකි ය.
සමථ මණ්ඩල වෙත යොමු නොකළ යුතු ආරවුල්
(පහත දැක්වෙන ආරවුල් සමථ මණ්ඩලයට යොමු නොකළ යුතුය.)
* විවාහ ආරවුල් වලට අදාල නඩු( දික්කසාද නඩු, වෙන්වීමේ නඩු, විවාහ ශුන්‍යතා නඩු, නඩත්තු නඩු යනාදිය.)
* සිහිවිකල තැනැත්තාගේ දේපල වලට අදාල බූදල් නඩු
* බාලවයස්කරුවන්ගේ දේපල වලට අදාල නඩු සහ බූදල් නඩු
* භාරකරුවන්ට අදාළ නඩු
* භාර නඩු
* දරුකමට හදා ගැනීමේ නඩු
* උප්පැන්න සහ මරණ ලියාපදිංචි කිරීමට අදාළ නඩු
* බෙදුම් නඩු
* ඇස්තස්මන්තු නඩු
* වස්තු භංගත්ව නඩු
* නාවික කටයුතු වලට අදාල (අද්මිරාල්ති) නඩු
* ඡන්ද පෙත්සම්
* මූලික අයිතිවාසිකම් කඩ කිරීම
* උකස් නඩු
* පාර්ලිමේන්තු වරප්‍රසාද කඩ කිරීමට අදාළ නඩු (සමථ මණ්ඩල පනතේ III උපලේඛනය)
තවද පහත දැක්වෙන අවස්ථා වලදී ඉල්ලීම් භාරගැනීමට සමථ මණ්ඩලයට බලය නැත.
* රජය පාර්ශවකරුවකු වන විට
* නිල තත්වයෙන් ක්‍රියාකරන රාජ්‍ය නිලධාරියෙකු පාර්ශවකරුවකු වන විට
* නීතිපතිවරයා විසින් පවරනු ලැබිය යුතු නඩු
* සමථ මණ්ඩලයේ සංයුතිය
* ආරවුලක් සමථමණ්ඩලය වෙත ඉදිරිපත් වූ විට එය සලකා බැලීම සඳහා සමථකාරකවරුන් තිදෙනකුගෙන් යුතු කමිටුවක් පත් කරනු ලැබේ.
එයින් එක් සමථකාරවරයෙක් බැගින් ආරවුලේ දෙපාර්ශවයට තෝරා ගැනීමට අවසරය ඇත.
ඉතිරි සමතකරු සමථමූල මණ්ඩලයේ සභාපතිවරයා විසින් නම් කරනු ලැබේ.
සමථකරණය සිදු වන ආකාරය
සමථ කරුවන් විසින් ආරවුල් පාර්ශවකරුවන්ට එහි ස්වභාවය විස්තර කිරීමට ඉඩ දෙනු ලැබේ. මෙහිදී දෙපාර්ශවයටම පිළිගත හැකි විසඳුමකට එළඹීමට උත්සාහ ගනු ලැබේ.
විසඳුමකට එළඹීමට හැකි වී නම් ආරවුල නිරවුල් කළ බවට පාර්ශවකරුවන්ට ලිඛිතව වාර්තාවක් ලබා දෙයි.
විසඳුමකට එළඹීමට නොහැකි වී නම් නිරවුල් නොකිරීමේ සහතිකයක් නිකුත් කරයි.
කැඳවීම් කරනු ලැබ තුන්වන වරටත් පාර්ශවකරුවන් හෝ පාර්ශවකරුවකු පැමිණ නොසිටියේ නම් ආරවුල නිරවුල් නොකිරීමේ සහතිකයක් නිකුත් කරනු ලැබේ.( 11 වගන්තිය)
සමථකරණයේ ප්‍රතිඵල
ආරවුලක් සමථකරණයට ලක් කළ විට පහත සඳහන් ප්‍රතිඵල ඇතිවේ.
* නිරවුල් නොකිරීමේ සහතිකයක් ලැබුණු කල අදාල ආරවුල් සම්බන්ධව නඩු මගට බැසීමට හැකියාව ඇත.
* වරදක් සමථයට පත් කළ විට එය අධිකරණයෙන් දුන් තීරණයක් මෙන් වලංගුය. පාර්ශවකරුවෝ එම තීන්දුවෙන් බැඳෙති.( මෙහි වරද යනු පොලිස් ස්ථානයකින් යොමුකළ අපරාධමය වරදකි. )
* ආරවුලක් සමථයට පත් කළ විට එම තීරණයෙන් විධානාත්මක බැඳීමක් හටනොගනී.( මෙහි ආරවුල යනු සිවිල් ආරවුලකි.)
(උපුටා ගැනීම (ෆේස් බුක් සමාජ ජාලය))
ලිපිය වටිනවනම්,
ඔබේ අදහස්,යෝජනා, චෝදනා, පහතින් comment කරන්න
ඔබේ යහලුවන්ගේ දැනුවත්කම උදෙසා මෙම ලිපිය share කරන්න..
මෙවන් තවත් වටිනා ලිපියකින් නැවතත් හමුවෙමු.
0 Comments