ලිසිං සමාගම් වලට වාහනයක් පැහැර ගන්න බැහැ

කල්බදු ගිවිසුමක් මත ලබාගත් වාහනයක් සම්බන්ධයෙන් වාරික නොගෙවා ඇති විටක, එහි සන්තකය බලහත්කාරයෙන් ලබාගැනීමට නීතියෙන් ප්‍රතිපාදන නොමැති බව නීතිවේදීන් පෙන්වා දෙනවා.

ලිසිං ක්‍රමයට ලබා ගත් ත්‍රිරෝද රථයක් අදාළ වාරික මුදල නොගෙවීම නිසා එම සමාගමේ සේවකයින් පිරිසක් බලෙන් එම රථය අත්පත් කර ගැනීමේ සිදුවීමක් හේතුවෙන් එය නැවත ලබා ගැනීමට යාමේදී ඇතිවූ ගැටළුවක් මත සිදුවූ පහරදීමකින් ජාතික ත්‍රිරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා මීට වසරකට පෙර ජිවිතක්ෂයට පත්විය.

කල්බදු ක්‍රමයට වාහනයක්‍ මිලදී ගැනීමේදී ඇතිවන නීතිමය ගැටළු සම්බන්ධයෙන් නීතිඥ තිෂ්‍ය වේරගොඩ සිය ෆේස්බුක් ගිණුමේ තබා තිබු සටහනයි.

” කල්බදු මූල්‍ය සමාගම කරන තවත් මගඩියක් තමයි, ලීසිං වාරික නොගෙවූ විට මහේස්ත්‍රාත් අධිකරණවල පුද්ගලික පැමිණිලිමත අපරාධ නඩු පවරන එක. බොහෝ විට එම නඩු අපරාධ නඩු විධාන සංග්‍රහයේ 136(අ.) වගන්තිය යටතේ පවරන නඩු. සාමාන්‍යයෙන් පැමිණිලි වල තියෙන්නේ කල්බදු ගැනුම්කරු විසින් 2000 අංක 56 දරණ මූල්‍ය කල්බදු පනතේ (පනත් 2005 24 සහ 2007 අංක 33 මගින් සංශෝධනය කරන ලද පරිදි) 39 වගන්තියේ අර්ථය තුළ වරදක් කර ඇති බව හා,

ආ. දණ්ඩ නීති සංග්‍රහයේ 386 වගන්තියේ අර්ථය තුළ වරදක් කර ඇති බව.

මහේස්ත්‍රාත් අධිකරණයේ තියෙන නඩුවල විශේෂත්වය තමයි, වග.උත්තරකරු මුලින්ම ඇප තැබිය යුතුයි. ඊට පස්සේ සෑම නඩු දිනකම පැමිණීම අනිවාර්‍යයි. නැවිදින් හිටියොත් වරෙන්තු. ඉතිං දිස්ත්‍රික් උසාවියට වඩා බයයි. ලීසිං කොම්පැනිත් මේක දන්නවා. ඒකයි මේ නඩු දාන්නේ. දාපු හැටිය, මේ නඩු සමථ කරගන්න කල්බදු ගැනුම්කරුවොත් උත්සාහ කරනවා රිමාන්ඩ් වෙන එක ලොකු ප්‍රශ්නයක් නිසා. කවුරුත් නීත්ඥවරුන්ට උපදෙස් දෙන්නේ නෑ මේ නඩු හබ කරන්න කියලා. හැබැයි හබ කරනවා නම් මේක තමයි නීතිමය ස්ථාවරය.

කල්බදු පනතේ 39 වන වගන්තියට වැටෙන අපරාධ කල්බදු ගැනුම්කරුවෙකුට අදාල වන්නේ නැත. එම වැරදි සියල්ලම කල්බදු සමාගමට හා එහි අධ්‍යක්ෂකවරුන්ට අදාල වැරදි.


2000 අංක 56 දරණ මූල්‍ය කල්බදු පනතේ 39 වන වගන්තිය (සංශෝධිත පරිදි)


39. සෑම පුද්ගලයෙකුම –

(අ) 2 වන වගන්තියේ විධිවිධානවලට පටහැනිව මූල්‍ය කල්බදු ව්‍යාපාරය කරගෙන යාම;

(ආ) 5 වන වගන්තියේ (3) වන උපවගන්තියේ විධිවිධානවලට අනුකූල වීමට අපොහොසත් වීම;

(ඇ) 6 වන වගන්තියට අනුව වාර්ෂික ලියාපදිංචි ගාස්තුව ගෙවීමට අපොහොසත් වීම;

(ඈ.) 7 වන වගන්තිය යටතේ අවශ්‍ය තොරතුරු සැපයීමට අපොහොසත් වීම;

(ඉ) 8 වන වගන්තියේ විධිවිධානවලට පටහැනිව මෙහෙයුම් අත්පොතෙහි අඩංගු තොරතුරු හෝ සංදේශය හෝ සංගමයේ ලිපි වෙනස් කිරීම; හෝ

(ඊ) මේ පනත යටතේ සිදු කරන කුමන හෝ රෙගුලාසි උල්ලංඝනය කිරීම හෝ මෙම පනත යටතේ නිකුත් කර ඕනෑම නිර්දේශයකට හෝ නිවේදනය සමඟ අනුකූල වීමට අසමත් වීම.

පැහැදිලිවම 2, 5, 6, 7, 8 වගන්ති අදාල වන්නේ සමාගමේ කළමණාකරනය පිළිබඳවයි. එතකොට මූල්‍ය සමාගම්වල තර්කය වන්නේ, (ඊ) වගන්තිය යටතේ නොතිසි වලට කල්බදු ගැනුම්කරු අනුකූල නොවීම යන පදනම මත නඩු පවරන බවයි.


නමුත් පනතේ 32, 33 හා 34 වගන්තිවල පැහැදිලිව දක්වා ඇත්තේ මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධික්ෂණ අධ්‍යක්ෂක විසින් කරන් ලබන නිර්දේශ හා නිවේදන ආදියට මූල්‍ය සමාගම අනුකූළ නොවන විට ඒ සම්බන්ධයෙන් දඬුවම් පැමිණවීමයි. නමුත් මේම නෝතිසි යන වචනය, පනතේ 21 වගන්තියේ මූල‍ය සමාගම ගැනුම්කරුවන් වෙත යවන නෝතිසියට අදාලකර ගැනීමේ හැකියාවක් නෑ. 21 වගන්තිය යටතේ යවන නොතිසියකට අනුකූල නොවන විට සිදුවන තත්ත්වය 20 වන වගන්තියේ පැහැදිලිව දක්වා තියෙනවා.

ඉහත තත්ත්වයන් යටතේ, කල්බදු සමාගම්වලට කල්බදු මූල්‍ය පනත යටතේ නඩු පැවරීමේ හැකියාවක් නෑ. නමුත් අවාසනාවකට මේ තත්ත්වය අපි දකින්නේ නෑ.

දණ්ඩ නීති සංග්‍රහයේ 386 වගන්තිය යටතේ වරදක් සිදුවීමට නම්, අනෙකෙකුගේ දේපළක් සාපරාධි ලෙස පරිහරණය කල යුතුය. ගිවිසුම අනුව වාරික නොගෙවා වාහනය පාවිච්චිකිරීම සාපරාධී පරහරණයක් වන විදිහ ඔප්පු කිරීමට අපහසු දෙයක්.

එහෙම කියලා, කල්බදු ගිවිසුමක් මත ලබාගත් වාහනයක් සම්බන්ධයෙන් වාරික නොගෙවා ඇති විටක, එහි සන්තකය බලහත්කාරයෙන් ලබාගැනීමට ප්‍රතිපාදන නොමැත.

සන්තකය ලබාගත හැකි ක්‍රම දෙකක් පනතේ දැක්වෙනවා. පළමු ක්‍රමය තමයි ප්‍රතිරෝධයක් නොදක්වන විට. ඒ කියන්නේ ගැනුම්කරු විරුද්ධ නොවන විට. ඒ අවස්ථාවකදී වාහනයේ සන්තකය ලබාගත හැකීයි. නමුත්, එසේ කිරීමටත් පළමුව අදාල රථය ඇති ප්‍රදේශයේ පොලිසියේ ස්ථානාධිපතිවරයාට දැනුම්දී සාමය කඩ නොවන ආකාරයට පොලිස් සහය ඇතිව, ප්‍රතිරෝධයක් නොදක්වන විටක සන්තකය ලබාගත හැකියි. ඒ කියන්නේ බලහත්කාරයෙන් නිවසකට ඇතුල් වෙලා, වාහන අරගෙන යන්න බෑ. පාරේ දුවන වාහනයක් රියදුරා එළියට ඇදලා දාලා අරගෙන යන්න බෑ. පොලිස් සහය අවශ්‍යයි විරෝධතාවයක් නැති විටක උනත් වාහනයක සන්තකය ලබා ගන්න.

ප්‍රතිරෝධය දක්වන විටකදී සන්තකය ලබාගත හැකි ආකාරය පනතේ 28 වන වගන්තියේ දක්වා තියෙනවා. ඒ දිසා අධිකරණයේ නඩුවක් පවරා තීන්දුවක් ලබා ගැනීමෙන්.

අපි ඔක්කෝම දන්නවා දිසා අධිකරණවල නඩු දිගු කාලයක් ගන්නවා කියලා. ඉතිං එහෙමයි කියලා අධිකරණ ක්‍රියාවලිය අවභාවිතා කිරීම නුසුදුසුයි.

ඔය විදිහටම තමයි චෙක්පත් මගින් වංචා කිරීම කියලා ඉස්සර ණය ආපසු එකතුකරන අය පොලීසිය අල්ලගෙන නඩු දැම්මේ. අභියාචනාධිකරණය ඒ ක්‍රියාවලියට තිත තිබ්බා මෙන්න මෙහෙම කියලා. මේ ලීසිං මාෆියාවටත් ඒ ආකාරයටම තමයි තිත තියන්න වෙන්නේ”.

(Facebook ශ්‍රී ලංකා නීතිය සමාජ ජාලයෙන් උපුටා පළ කරන ලද ලිපියකි.)


Post a Comment

0 Comments